වෙස්ලි කණ්ඩායම විද්‍යාර්ථය සාදරයෙන් A කාණ්ඩයට පිළිගනියි

165

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද (06) දින පැවති තරගයක දී කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 36 – 06ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුනේ ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගණයේ දීයි. 

2020 ලීග් කුසලානයට මාන බලන රග්බි උරුමක්කාරයෝ

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 2020 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට…..

වෙස්ලි කණ්ඩායම තරගයේ පළමු මිනිත්තුවේ සිටම ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ අතර ශහිබ් පකිරලි තරගයේ පළමු උත්සාහක දිනුම රැස්කළේ වෙස්ලි කණ්ඩායම පෙරමුණට ගෙනෙමින්. එහි ප්‍රවර්තනය නම් ඔවුන් සාර්ථක කර ගන්නට සමත් වුනේ නැහැ. (වෙස්ලි 05 – 00 විද්‍යාර්ථ) 

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම පන්දුව හැසිරවීමේ දී දිගින් දිගටම අතපසුවීම් සිදුකළා. 16 වන මිනිත්තුවේ දී වෙස්ලි කණ්ඩායමට ගෝල කණු අසලම දඬුවම් පහරක් හිමි වූ අතර ජයවර්ධන එම අවස්ථාව සාර්ථක කර ගත්තා. (වෙස්ලි 08 – 00 විද්‍යාර්ථ) 

වෙස්ලි ඉදිරිපෙළ ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුනේ පන්දුව දක්ෂ ලෙස සිය පසුපෙළ ක්‍රීඩකයින්ට උදුරා දෙමින්. එහි ප්‍රතිඵලයක් ලෙස සෙන්ටර් ක්‍රීඩක එරන්ද හර්ෂණ විද්‍යාර්ථ ආරක්ෂක වළල්ලේ සිදුරකින් රිංගා යමින් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. ජයවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (වෙස්ලි 15 – 00 විද්‍යාර්ථ) 

පළමු අර්ධයේ විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් වෙස්ලි ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වීමට පෙර පිටියේ වම්පස කෙළවරින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. තීක්ෂණ විතානගේ එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ජයවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (වෙස්ලි 22 – 00 විද්‍යාර්ථ) 

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය (3T, 2C, 1P) 22 – 00 විද්‍යාර්ථ විද්‍යාලය 

දෙවන අර්ධය ආරම්භයත් සමඟ විද්‍යාර්ථ ක්‍රීඩකයින් වෙස්ලි කණ්ඩායමෙන් පන්දුව උදුරාගෙන ඉදිරියට යන්නට සමත් වුනත් අවාසනාවන්ත ලෙස ඔවුන් එම අවස්ථාව ලකුණු බවට පත්කර ගන්නට සමත් වුනේ නැහැ.ඊට මිනිත්තු කිහිපයකට පසුව විද්‍යාර්ථ කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර නායක කළුආරච්චි එය සාර්ථක කර ගත්තා. (වෙස්ලි 22 – 03 විද්‍යාර්ථ) 

ලේක්විව් සිංහයන් අසරණ කරමින් බම්බා බ්‍රිගේඩ් ගිණුම අරඹයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත්…..

වෙස්ලි නායක සැමුවෙල් ඔග්බෙබෝර් විද්‍යාර්ථ ක්‍රීඩකයින් මර්දනය කර ඉදිරියට ඇදුනු අතර හෆිස් තබිත් තරගයේ 46 වන මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා ගියා. ජයවර්ධන එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තා. (වෙස්ලි 29 – 03 විද්‍යාර්ථ) 

වෙස්ලි ක්‍රීඩක එරන්ද හර්ෂණ, විද්‍යාර්ථ ක්‍රීඩකයෙකු අතින් බිම වැටුනු පන්දුව රැගෙන මීටර 80ක පමණ අලංකාර ධාවනයක යෙදී සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළා. ජයවර්ධන එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ ඉතා පහසුවෙනුයි. (වෙස්ලි 36 – 03 විද්‍යාර්ථ) 

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී විද්‍යාර්ථ කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර කළුආරච්චි පන්දුව ගෝල කණු අතරින් යොමු කළා. (වෙස්ලි 36 – 06 විද්‍යාර්ථ) 

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය (5T, 4C, 1P) 36 – 06 (2P) විද්‍යාර්ථ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – එරන්ද හර්ෂණ (වෙස්ලි විද්‍යාලය) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • වෙස්ලි විද්‍යාලය – එරන්ද හර්ෂණ (2T), ශහිබ් පකිරලි (1T), තීක්ෂණ විතානගේ (1T), හෆිස් තාබෙත් (1T), ජයවර්ධන (4C, 1P). 
  • විද්‍යාර්ථ විද්‍යාලය – කවිශ කළුආරච්චි (2P). 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<