2020 ලීග් කුසලානයට මාන බලන රග්බි උරුමක්කාරයෝ

270

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 2020 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට ඉතා හොඳ සුදානමකින් සිටියි. 2020 නව දශකය රග්බි උරුමක්කාරයින්ට වාසනාවන්ත වසරක් වෙයි ද? මේ මෙවර කිංග්ස්වුඩ් විද්‍යාල රග්බි කණ්ඩායම පිළිබඳ ThePapare.com අපගේ සටහනයි. 

මුහුද අසබඩ රග්බි බලකාය 2020 කුසලානයට අවි සූදානම් කරයි

පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2020 වසරේ …

අතීතයෙන් බිඳක් 

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා කරන පාසල් අතරින් පැරණිතම පාසල වීමේ අභිමානය කරපින්නා ගත් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 125ක රග්බි පිටියේ අත්දැකීම් වලට උරුමකම් කියයි. එල්. ඊ. බ්ලේස් මහතා විසින් 1891 වසරේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ආරම්භ කරන ලද අතර ඒ හා සමගාමීව ඒ මහතා රග්බි ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පළමු රග්බි තරගය පැවැත්වුනේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර බෝගම්බර ක්‍රීඩා පිටියේ දීයි. 

රග්බි ක්‍රීඩාව ගහට පොත්ත මෙන් කිංග්ස්වුඩ් මහත්වරුන්ගේ පාසල් සංස්කෘතියට බද්ධ වුනත් පළමු වරට පාසල් රග්බි ලීග් ශූරතාවයක පහස රැන්ඩ්ල්ස් කන්දට හිමි වුනේ 2004 වසරේ දීයි. ශ්‍රී ලංකා රග්බි පිටියේ, ක්‍රීඩා සමාජ රග්බි පිටියේ මෙන්ම ජාත්‍යන්තර රග්බි පිටියේ ද කැපී පෙනෙන තරුවක් වූ ශ්‍රී ලංකාව බිහිකළ හොඳම රග්බි ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ෆාසිල් මරිජා එම ජයග්‍රහණයේ ප්‍රධානතම නියමුවා වුනා. එම වසරේ දී ඔවුන් ත්‍රිත්ව ශූරයින් බවට පත්වුනේ “ජනාධිපති කුසලානය” මෙන්ම “සත්සාමාජික රග්බි තරගාවලිය” ද ජය ගනිමින්. එක් ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් හැරුනු විට ඔවුන් 2004 වසරේ අනෙක් සියලු තරග අපරාජිතව නිමා කිරීම විශේෂත්වයක්. 

2004 වසරේ ලීග් කුසලානයෙන් නොනැවතුනු ඔවුන් 2005, 2008 වසර වලදී ද ලීග් රග්බි කුසලානය දිනා ගත්තේ පාසල් රග්බි පිටියේ දැවැන්තයින් බවට පත්වෙමින්. 

නාලක වීරක්කොඩි, ගයාන් වීරරත්න, රොෂාන් වීරරත්න, ෆාසිල් මරීජා, චාමර විතානගේ වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් ද රොනී ඉබ්‍රහිම්, නිල්ෆර් ඉබ්‍රහිම් වැනි සුපිරි පුහුණුකරුවන් ද බිහි කිරීමට රැන්ඩ්ල්ස් කන්ද සමන්විත වූයේ රග්බි ක්‍රීඩාවට වූ ළැදියාව නිසාමය. 

ගෙවුණු තරග වාරය 

බලාපොරොත්තු රැසක් සමඟින් ගෙවුනු තරගවාරයේ දී රග්බි පිටියට පිවිසුනත් ඔවුන්ට එම බලාපොරොත්තු සඵල කර ගන්නට හැකියාවක් ලැබුනේ නැහැ. මිලාන් වීරසිංහ ගේ නායකත්වය යටතේ තරග වැදුනු ඔවුන් අවාසනාවන්ත ලෙස පළඟ ශූරතාවයට ඇද වැටුනු නමුත් එහි සියලුම තරග ජය ගනිමින් ඔවුන් පළඟ ශූරතාවය දිනා ගත්තා. 

ගෙවුනු තරගවාරයේ දී කිංග්ස්වුඩ් තරග කැලැන්ඩරයේ ඉතා වැදගත් තරගයක් වන වාර්ෂික එල්. ඊ. බ්ලේස් අනුස්මරණ තරගයත් ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් වුනා. 34 වන වරට පැවැත්වුනු එම තරගය ඔවුන් 2018 වසරේ දීත් ජය ගැනීම විශේෂත්වයක්. 

පළඟ ශූරතාවයේ තරග පහක් ක්‍රීඩා කළ ඔවුන් එහි තරග පහම ජය ගැනීමට සමත් වූ නමුත් ඔවුන් පළමු වටයේ ජය ගැනීමට සමත් වුනේ තරග දෙකක් පමණයි.

ආසිරි සෙනෙවිරත්න හා හිරුෂ සම්පත් ගේ දස්කම් ගෙවුනු තරගවාරයේ දී කැපී පෙනුනා. කිංග්ස්වුඩ් පසුපෙළ සංකලනය ප්‍රතිවාදී කණ්ඩායම් රැසකටම දරුණු ප්‍රහාර එල්ල කරන්නට සමත් වීම විශේෂත්වයක්. මොහොමඩ් ශසාන් රහුමාන්, කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් ලාභියා මෙන්ම පළඟ ශූරතාවයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වන විට හිරුෂ සම්පත් පළඟ ශූරතාවයේ වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වුනා. 

රග්බි ක්‍රීඩාවේ 100 වන වසර සමරන්නට රාජකීයයන් සූදානම්

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසය තුළ පැරණිතම රග්බි කණ්ඩායමක් වන කොළඹ රාජකීය විද්‍යාල රග්බි…

මෙවර තරගවාරය සඳහා සුදානම

පසුගිය තරගවාරයේ කැපී පෙනුනු ක්‍රීඩකයෙකු වන ෆ්ලයි හාෆ් ක්‍රීඩක ආසිරි සෙනෙවිරත්න මෙවර මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරයි. සිය වේගයෙන් හා ක්ෂණික තීරණ ගැනීම් වලින් ප්‍රතිවාදී ආරක්ෂක වළලු සුණුවිසුණු කළ ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත. වසර පහක පළමු පෙළ අත්දැකීම් සමඟ ආසිරි සෙනෙවිරත්න, 2008 වසරෙන් පසුව පළමු වරට ලීග් කුසලානයක් කිංග්ස්වුඩ් විද්‍යාලයට ගෙන ඒමේ නියමුවා බවට පත්වනු නොඅනුමානය. ඔහු 2019 වසරේ වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ආසියානු රග්බි ශූරතාවයට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමට ද සුදුසුකම් ලබා තිබීම ඔහු කෙරෙහි විශ්වාසය තබන්නට තවත් හේතුවකි. 

දිනාල් ඒකනායක මෙවර කිංග්ස්වුඩ් කණ්ඩායමේ තවත් ප්‍රධානතම බලාපොරොත්තුවකි. සිය නායකයා මෙන්ම 2019 වසරේ වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ආසියානු රග්බි ශූරතාවයට ගිය ශ්‍රී ලංකා සංචිතයේ අසුනක් වෙන්කර ගත් ඔහු මෙවර කිංග්ස්වුඩ් කණ්ඩායමේ ෆුල් බැක් ස්ථානයේ සිය වගකීම ඉටු කරනු ඇත. වසර තුනක අත්දැකීම් සමඟින් කණ්ඩායම සවිමත් කරන ඔහු ගෙවුනු තරගවාරයේ දී උත්සාහක දිනුම් 5ක් රැස්කර ගෙන සිටියේ වැදගත් අවස්ථාව වල ක්‍රියාත්මක වන ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනා ගනිමිනි. 

අත්දැකීම් බහුල පසුපෙළක් සමඟින් මෙවර තරගාවලියට පිවිසෙන කිංග්ස්වුඩ් කණ්ඩායමේ තවත් වැදගත් තරුවක් වන්නේ තුමුල වලිගම්පොළ යි. සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් කිංග්ස්වුඩ් කණ්ඩායම සවිමත් කරන ඔහු, මෙවර ක්‍රීඩා කරන්නේ වින්ග් ස්ථානයේ යි. මෙම අත්දැකීම් බහුල කිංග්ස්වුඩ් පසුපෙළේ ඇති තවත් විශේෂත්වයක් නම් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සියලුදෙනාටම පාහේ පසුපෙළ ඕනෑම ස්ථානයක් ක්‍රීඩා කරන්නට හැකි වීමයි. 

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ශාසාන් රහුමාන් කණ්ඩායමේ තවත් ප්‍රධානතම තුරුම්පුවක්. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ගෙවුනු වසරේ දී පළඟ ශූරතාවයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත්වීමට ද සමත් වුනා. එම වටිනා අත්දැකීම් සහ සුන්දර මතකයන් සමඟින් මෙවරත් සුපිරි දස්කම් දක්වා කණ්ඩායමේ පසුපෙළ කොඳු නාරටිය ලෙස කටයුතු කිරීම ඔහුගෙන් කණ්ඩායම අපේක්ෂා කරන සේවයයි. 

සෙන්ටර් ක්‍රීඩක ඉෂාර කුරේ හා නොම්බර 8 ක්‍රීඩක අපුර්ව විජේසිංහ කණ්ඩායමේ තවත් වැදගත් ක්‍රීඩකයින් ලෙස දැක්විය හැකියි. අපුර්ව විජේසිංහ කණ්ඩායමේ ඉදිරිපෙළ මෙහයවන්නේ සිය වේගවත් පසුපෙළට කෙසේ හෝ පන්දුව දිනා දීමේ අරමුණින්. එමෙන්ම නොම්මර 10 ස්ථානයේ සිට නොම්මර 15 දක්වා ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි ඉෂාර කුරේ මෙවර කණ්ඩායමට අමතර විශ්වාසයක් එක්කරනු ඇත. 

අත්දැකීම් බහුල කිංග්ස්වුඩ් කණ්ඩායමට, අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන නිල්ෆර් ඉබ්‍රහිම් මහතාගේ සේවය ලැබී තිබෙනවා. පසුගිය වසර කිහිපය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ කටයුතු කළ ඔහු සාන්ත ජෝසප් විද්‍යාලය පාසල් රග්බි පිටියේ ප්‍රබල කණ්ඩායමක් කරන්නට සමත් වුනු අතර 2018 වසරේ දී සත්සාමාජික රග්බි කිරුළ සාන්ත ජෝසප් කණ්ඩායමට ගෙන එන්නට ද දායක වුනා. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේම ආදී සිසුවෙකු වීම නිල්ෆර් ඉබ්‍රහිම් හා කණ්ඩායම අතර බැඳීම තවත් සවිමත් කරන්නට හේතුවක්. දේශීය රග්බි පිටියේ අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකු වන ඔහු 2008 වසරට පසුව පළමු වරට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලීග් කිරුළක් ගෙන ඒමේ සටනේ ප්‍රධානතම සාධකයක් වනු ඇත. 

නිල්ෆර් ඉබ්‍රහිම් මහතා පුහුණුකරු ලෙස කටයුතු කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමඟින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය මෙවර තරගාවලිය ආරම්භ කිරීම දෛවෝපගත සිද්ධියක්. රග්බි උරුමක්කාරයින්ට වසර 12කට පසුව ලීග් කිරුළක් හිස දරන්නට හැකි වෙයි ද? 

කුළුඳුල් ලීග් කුසලානය නෙලාගන්නට වෙර දරණ මරදානේ සාන්තුවරුන්

පාසල් රග්බි පිටිය කලඹමින් ප්‍රබලයින් රැසක් බිම හෙළු පාසල් රග්බි පිටියේ නවමු රග්බි බලවේගය, මරදාන…

කිංග්ස්වුඩ් කණ්ඩායමේ පළමු වටයේ තරග සැලැස්ම මෙසේයි. 

  • මාර්තු 05, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය/ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය 
  • මාර්තු 15, 2020 රාජකීය විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය 
  • මාර්තු 23, 2020 – කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය – පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය 
  • මාර්තු 27, 2020 – කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය – නිත්තවෙල ක්‍රීඩාංගණය 
  • අප්‍රේල් 04, 2020 – ත්‍රිත්ව විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය – පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය