අඛණ්ඩව දෙවැනි වරටත් SAFF 17න් පහළ කිරුළ ඉන්දියාවට

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය 2022

185

 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් ඉකුත් 5 වැනිදා සිට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති “SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය” ජයග්‍රහණය කරන්නට ඊයේ (14) ඉන්දියාව සමත් වුනේ නේපාලය ගෝල 4-0ක් ලෙස පරාජය කරමිනුයි. 

අවසන් මහා තරගය සඳහා ගෝල 2-1ක් ලෙස බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාව සුදුසුකම් ලබා ගන්නා විට, ශ්‍රී ලංකාව ගෝල 6-0ක් ලෙස පරාජය කරමින් නේපාලය අවසන් මහා තරගය සඳහා අවතීර්ණ වුනා. 

නේපාල සහ ඉන්දියාව මෙවර තරගාවලිය සඳහා B කාණ්ඩයෙන් තරග වැදුණු අතර කණ්ඩායම් වටයේ පැවති තරගයක දී ඉන්දියාව ගෝල 1-3ක් ලෙස පරාජය කරන්නට නේපාලය සමත් වුනා. 

එම පරාජයේ වාඩුව ගැනීමේ අදිටනින් තුරඟ තරග පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් ප්‍රථමයෙන් ලකුණු රැස් කළේ 18 වැනි මිනිත්තුවේ දී Boby Singh විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි. 

ඉන් මිනිත්තු 11කට පසුව තවත් අනර්ඝ ගෝලයක් වාර්තා කරමින් Korou Singh විසින් ලකුණු පුවරුව දෙගුණ කළේ නේපාලයට පීඩනය එල්ල කරමිනුයි. මේ අතරවාරයේ දී නේපාල නායක Prashant Laksam හට විනිසුරු රතු කාඩ්පතක් ලබා දෙමින් පිටියෙන් ඉවත් කළේ ඔහු අනතුරුදායක ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනුයි. 

ගෝල 2-0ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයෙන් පසුව කණ්ඩායම් නැවතත් පිටියට පිවිසෙමින් ද්වන්ද සටනක නියැලෙනු දක්නට ලැබුණු අතර එහි දී නේපාලයේ ලකුණු ලබා ගැනීම හැකි සෑමවිටම අවහිර කරමින් ඉන්දීය ක්‍රීඩකයින් විසින් තවත් ගෝල දෙකක් සිය ලකුණු පුවරුව එකතු කරගන්නට සමත් වුනා. 

එම ගෝල අතරින් එක ගෝලයක් 63 වැනි මිනිත්තුවේ දී සාර්ථක කර ගත්තේ ඉන්දීය නායක Vanlapekha Guite විසිනි. තරගයේ අවසන් ගෝල වාර්තා කරන්නට Aman සමත් වුනේ අතිරේක මිනිත්තුවේ දීයි. 

ඒ අනුව 2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලියේ දී ද නේපාලය පරාජය කරමින් (ගෝල 7-0ක් ලෙස) ශූරතාවය දිනූ ඉන්දීය ක්‍රීඩකයින් නැවත වරක් ශූරතාවය සිය රට වෙනුවෙන් දිනා දෙන්නට සමත් වුනේ ගෝල 4-0ක් ලෙස අවසන් මහා තරගය ජයග්‍රහණය කරමිනුයි. 

අවසන් ලකුණු තත්වය: ඉන්දියාව 4 – 0 නේපාලය 

ගෝල ලාභීන්: 

  • ඉන්දියාව – Boby Singh (18’), Korou Singh (30’), Vanlapekha Guite (63’), Aman (90+3) 

මෙවර තරගාවලිය සඳහා පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් පළමු තරගයේ දී බංග්ලාදේශය හමුවේ ගෝල 5-1ක් ලෙස පරාජය වූ නමුත් මාලදිවයින ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ඔවුන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා. කෙසේ නමුත් අවසන් පූර්ව වටයේ දී ඔවුන් නේපාලය හමුවේ ගෝල 6-0ක් ලෙස පරාජය වුනා. 

ශ්‍රී ලංකා පාපන්දු පිටියේ උණුසුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<