සංගා ගැන නොදන්න කතා ටිකක් රසල් හෙළි කරයි

135

ලෝකයේ මෙතෙක් බිහි වූ අංක එකේ වමත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර අවිවාදයෙන් පිළිගැනේ. ඔහුගේ නොනවතින ලකුණු මැෂිම, දාර්ශනික කවර් ඩ්‍රයිව් පහර, පිට පිට වාර්තා වන ශතක එකල ඕනෑම පන්දු ‍යවන්නෙකු සසල කරවන සුළු විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදා නොබිඳිය හැකි වාර්තා කීපයකටම හිමිකම් කියන කුමාර් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර තම පළමු පෙළ තරග සඳහා එන්. සී. සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. 

තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ලෙස සිට මුළු ලෝකයේම ප්‍රබල පිතිකරුවෙකු දක්වා කුමාර් සංගක්කාරගේ ගමන් මඟ අගය කිරීම සඳහා කොළඹ එන්. සී. සී. ක්‍රීඩා සමාජය පසුගිය දා උත්සවයක් සංවිධානය කර තිබුණි. 

එම උත්සවය සඳහා කුමාර් සංගක්කාරගේ සමකාලීන ක්‍රීඩකයන් හා සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ. කුමාර් එන්. සී. සී. ක්‍රීඩා සමාජයට පිවිසි මුල් අවධියේ ඔහුගේ ක්‍රීඩා සගයෙකුව සිටි රසල් ආනල්ඩ් වර්තමානයේ ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු මෙම උත්සවයේ දී කුමාර් සංගක්කාර පිළිබඳව බොහෝ දෙනා නොදන්නා රසවත් කරුණු කීපයක්ම හෙළිකරනු ලැබුවේ පැමිණ සිටි පිරිස හාස්‍යයේ ගිල්වමිනි.

“මම හිතන්නේ උත්සවයේ මීළඟට තියෙන කටයුතු කරන්න කලින් මගේ කතාව කියන්න ඕන. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් වුනා මොකද කුමාර් වෙලාවට ආව නිසා. ඔහුට ඔරලෝසු ගොඩක් තිබුනට කවදාවත් වෙලාවට එන්නේ නෑ. අපිට අදත් ඒක තමයි සිදු වුනේ. 

මුලින්ම එන්. සී. සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා එන්. සී. සී.  ක්‍රීඩා සමාජයට, ජ්‍යේෂ්ඨ සාමාජිකයන්ට. ඔවුන්ගේ ඇසුර නිසා තමයි අපි ජීවිතය ඉගෙන ගත්තේ සහ අපිට අද ඉන්න තැනට එන්න උදව් වුනේ. 

මට මුලින්ම කුමාර් මුණගැසෙන්නේ මේ සමාජයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. ඔහු නුවර ඉඳන් ඇවිල්ලා හිටියේ. ඔහු මට ඇවිල්ලා කිව්වා මට එන්. සී. සී. එකට ක්‍රීඩා කරන්න ඕන කියලා. ඒක තමයි ඔහු මට මුලින්ම කිව්වේ. ඊට පස්සේ අපි පුහුණුවීම්වලට ගියා. ඒ තමයි කුමාර්. ඔහු ඔහු ගැන ගොඩක් විශ්වාසයෙන් සිටියා. 

ඔහු කලින්ම එනවා මෙහෙට. පුහුණුවීම්වලට නෙමෙයි. ඔහු මෙතන එහා පැත්තේ තියන ස්නූකර් කාමරයට ගිහින් බෙනා එක්ක ස්නූකර් සෙල්ලම් කරනවා. ඔහු පුහුණුවීම් වලින් පස්සෙත් ඒක කළා. 

සංගාගෙන් දූෂන ගැන බරපතල හෙළිදරව්වක්!

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක්…..

කුමාර් එනකොට තනියෙන් ආවේ නෑ. යෙහාළිත් එක්ක තමා ආවේ. සතියේ දවස්වල ඇය ආවේ මැලේසියානු ගුවන් සේවයේ නිල ඇදුමෙන්. සති අන්තයේ දී කොට කලිසමක් ඇදගෙන ආවේ. මගේ පෙම්වතියත් ඒ දවස්වල ආවා. එයාලා කට්ටිය වෙනම හිටියා. 

පස්සේ අපි පුහුණුවීම් ඉවර වෙලා නැටුම් ඉගෙන ගන්න ගියා. කුමාර් හා යෙහාළි තමා ඇත්තටම නටන්න ඉගෙන ගත්තේ. අනෙක් හැමෝම ඒක මගදි අතහැරියා. 

කුමාර්ට ඒ කාලේ යාළුවෝ කණ්ඩායමක් හිටියා. අසේල පතිරණ, සංජීව ජයරත්න, රිදීගම්මනගේ, රංගන හේරත්, චරින්ද ප්‍රනාන්දු වගේ අය තමයි ඒකේ හිටියේ. ඔවුන් එකම වයසේ අය. 

රංගන ඒ කාලේ හිටියේ දෙහිවල. චරින්දත් එහේ. ඔවුන් 176 බස් එකේ නාවලට එනවා. කුමාර් හිටියේ එහේ. රාජගිරියේ දී අනිත් අයත් ඒකට එකතු වෙනවා. ඔවුන් හැමෝම පරක්කු වෙලා තමයි එන්නේ. ඒ කුමාර් නිසා. 8.30 – 8.45 වුනත් එයාලා කුමාර්ගේ ගෙදර ගිහින් උදේ කෑම කාලා තමයි එන්නේ. 

ඇත්තටම මේ පරක්කුවට හේතුව කුමාර් පුරුදු වෙලා හිටියා හැමදාම bat drills කරන්න. බැට් එකෙන් ගොඩක් පුහුණුවීම් කරලා තමයි ඔහු එන්. සී. සී එකට එන්නේ. ඒක තමයි ඔහු ඔහුගේ ක්‍රීඩාවට කරපු කැපවීම.

මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන…..

ඒ කාලේ අපේ පුහුණුකරු වුනේ රුමේශ් රත්නායක. හැමෝම ඔහුට බයයි. අපි ටැමිල් යූනියන් එකත් එක්ක ක්‍රීඩා කරන කොට පොඩි පොඩි වලි දාගත්තම රුමේශ් තමයි අපිව බේරගන්නේ ගුටි කන්න කලින්. 

කුමාර් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න මම එක සිදුවීමක් කියන්නම්. ඒ දවස්වල අපේ කඩුලු රකින්නා වුනේ ප්‍රසන්න ජයවර්ධන. ඒ නිසා රුමේශ් කුමාර්ට කිව්වා ඔහුට ක්‍රීඩා කරන්න ඕනෙ නම් සී. සී. සී නැත්නම් එස්. සි. සී වගේ එකකට යන්න කියලා. රුමේශ් ඒක කියලා ඉවර වෙන්නත් කලින් කුමාර් කිව්වා මම අභියෝගය බාර ගන්නවා කියලා. මේ කතාබහ වුනේ කුමාර් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙන්න කලින්. කුමාර් කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන ක්‍රීඩකයෙක්. 

මම හැමෙවෙලේම කුමාර්ට කිව්වේ මාව පැත්තකට කරලා ඉස්සහට යන්න කියලා. ඔහු තමයි මම වෙනුවට අංක තුන ක්‍රීඩකයා වුනේ. ඒ තීරණය ගත්ත කෙනා කවුරු වුනත් ගොඩක් හොඳ තීරණයක් අරන් තියනවා. 

මම කුමාර්ව ක්‍රීඩාංගණයේ දී වගේම ක්‍රීඩාංගණයෙන් පිටතදීත් දන්න කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් කුමාර් තමයි හොඳම ක්‍රීඩකයා. මට ඒක ගැන කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑ. මම ඔහුව ආශ්‍රය කරලා තියනවා. ඔහු දිහා බලන් ඉඳලා තියනවා. ඉතින් මට විශ්වාසයි ඒක ගැන. තවත් කියන්න දෙයක් නෑ. සුබ පැතුම් කුමාර්! “

සම්පූර්ණ වීඩියෝව – 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<