රග්බි ලෝක කුසලානයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර පෙරමුණේ සිටින්නේ ලොව පූජනීයම ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඒ සුපිරි ඕල් බ්ලැක්ස් ක්‍රීඩක ජෝනාහ් ලෝමූ හා දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක බ්‍රයන් හබානා.

Video – ලෝකය දිනන්න යන All Blacks කණ්ඩායම නම් කෙරේ

2019 රග්බි ලෝක කුසලානය සදහා ජපානයට යන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ…

2019 රග්බි ලෝක කුසලානය ආරම්භයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ඒ නිසාම රග්බි ලෝක කුසලානයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් සොයා යන්නට ThePapare.com අප සිතුවා.

10 වැනි ස්ථානය – Brayan Lima – සැමෝවා – උත්සාහක දිනුම් 10

සුපිරි ලෝක කුසලාන පහක් ක්‍රීඩා කළ ඔහු 1991 වසරේ රග්බි ලෝක කුසලානයේ යොවුන්ම ක්‍රීඩකයායි. 

එවකට 19 වැනි වියේ සිටි ඔහු සැමෝවා කණ්ඩායම හා වේල්ස් කණ්ඩායම අතර තරගයේ දී සැමෝවා කණ්ඩායමට තියුණු ජයක් ගෙන ඒමට සමත් වුනා. ලකුණු 16-13ක් ලෙස සැමෝවා ප්‍රබල වේල්ස් කණ්ඩායම පරාජය කළ අතර ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබන්නට සමත් වුනා.

1995 වසරේදීත් ලීමා සැමෝවා කණ්ඩායම වෙනුවෙන් රග්බි ලෝක කුසලානය ක්‍රීඩා කළ අතර මෙවරත් ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණේ ප්‍රබල ආර්ජෙන්ටිනා හා ඉතාලි කණ්ඩායම් පරාජය කරමින්. 

අනතුරුව ඔහු 1999 වසරේදීත් වේල්ස් කණ්ඩායම පරාජය කළ සැමෝවා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 2003 හා 2007 රග්බි ලෝක කුසලානය ද ක්‍රීඩා කරමින් උත්සාහක දිනුම් 10ක් තමන්ගේ නමට දිනා ගත්තේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත් වෙමින්.

ඔහුගේ ප්‍රබල කාය ශක්තිය නිසා ප්‍රතිවාදීන් හා ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ The Chiropractor ලෙසයි.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ උත්සාහක දිනුම් 11ක් බැගින් වාර්තා කළ ක්‍රීඩකයින් පස් දෙනෙක් හමුවනවා. ඒ නිසාම ඔවුන් ශ්‍රේණිගත කෙරෙන්නේ එක් එක් ක්‍රීඩකයා ක්‍රීඩා කර ඇති ලෝක කුසලාන තරග ගණන අනුවයි.

9 වැනි ස්ථානය – වින්සන්ට් ක්ලර්ක් – ප්‍රංශය උත්සාහක දිනුම් 11

ප්‍රංශය බිහි කළ හොඳම රග්බි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන වින්සන්ට් ක්ලර්ක් රග්බි ලෝක කුසලානයේ ද සුපිරි දස්කම් දැක්වූයේ උත්සාහක දිනුම් 11ක් තමන්ගේ නමට ලියා ගනිමින්.

වේගය හා කාර්යක්ෂමතාව අතින් සුපිරි ක්‍රීඩකයෙකු වුණු ඔහු Wing ස්ථානයේ ක්‍රීඩා කරමින් ප්‍රංශය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූවා. 2003 රග්බි ලෝක කුසලානය අහිමි වුනත් සික්ස් නේෂන්ස් තරගාවලි දෙකක ජයග්‍රහණ කර පින්නා ගෙන 2007 ලෝක කුසලානයට ගිය ක්ලර්ක් ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට රැගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කළා.

2011 තරගාවලිය ක්ලර්ක් නිමා කළේ උත්සාහක දිනුම් පහක් සමඟින්. එංගලන්තයේ ක්‍රිස් ඈෂ්ටන් සමඟ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ ද පළමු ස්ථානය දිනා ගත් ඔහු ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට ගෙන ආවා. කෙසේ වෙතත් අවසන් තරගයේ දී ඔවුන්ට ප්‍රබල ඕල් බ්ලැක්ස් කණ්ඩායම නම් පසු කර යන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

8 වැනි ස්ථානය – රෝරී අන්ඩර්වුඩ් – එංගලන්තය – උත්සාහක දිනුම් 10

රග්බි ලොවේ ප්‍රකට නාමයක් වන රෝරී අන්ඩර්වුඩ් ඉතා සුවිශේෂ ක්‍රීඩකයෙක්. ඒ ඔහු වසර 18ක් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමුවෙකු ලෙස ද කටයුතු කර ඇති නිසා. ඔහු වසර 12ක් එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි පිටියේ ද දස්කම් දක්වා තිබීම විශේෂත්වයක්.

එංගලන්තය වෙනුවෙන් තරග 85ක් ක්‍රීඩා කර ඇති ඔහු බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග හයක් ක්‍රීඩා කර තිබෙනවා. පළමු ලෝක කුසලානය වන 1987 ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කළ මේ සුපිරි WING ක්‍රීඩකයා 1991 වසරේ සිය තෙවැනි හා අවසන් ලෝක කුසලානයට ක්‍රීඩා කළා.

1992 වසරේ දී ඔහු හා ඔහුගේ සොයුරු ටෝනි අන්ඩර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ Wing ක්‍රීඩකයින් ලෙස පිටියේ අන්ත දෙකේ දී ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වුනා. සහෝදරයින් දෙදෙනෙක් එලෙස එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කළේ 1937 වසරට පසුව වීම විශේෂත්වයක්.

7 වැනි ස්ථානය – Joe Rokocoko – නවසීලන්තය – උත්සාහක දිනුම් 11

සිය සුපිරි වේගයෙන් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් අන්ත අසරණ කළ Rokocko රග්බි ලෝක කුසලානයේ උත්සාහක දිනුම් 11ක් වාර්තා කළ ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙක්.

උපතින් ෆීජී ජාතිකයෙකු වූ ඔහු රග්බි ක්‍රීඩාව දුටු හොඳම තරග අවසන් කරන්නෙක් වූ අතර 2003 රග්බි ලෝක කුසලානයේ තරග පහක් තුළ උත්සාහක දිනුම් හයක් වාර්තා කළ ඔහු 2007 ලෝක කුසලානයේ දී තවත් උත්සාහක දිනුම් පහක් තමන්ගේ ගමන් මල්ලට එකතු කර ගත්තා.

2003 වසර තුළ තරග 12ක දී උත්සාහක දිනුම් 17ක් වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක් වන්නට ද ඔහු සමත් වුනා. ඒ වසරේ දී ඔහු ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යන ප්‍රබල කණ්ඩායම් ද්විත්වයටම එරෙහිව උත්සාහක දිනුම් ත්‍රිත්වයන් වාර්තා කළා. එක් වර්ෂයක් තුළ වැඩිම උත්සාහක දිනුම් ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ද ඔහු එවකට ඉතිහාසගත වුනා.

6 වැනි ස්ථානය – ක්‍රිස් ලේතම් – ඕස්ට්‍රේලියාව – උත්සාහක දිනුම් 11

ඕස්ට්‍රේලියාවේ දෙවන වැඩිම උත්සාහක දිනුම් ලාභියා වන ක්‍රිස් ලේතම් ද රග්බි ලෝක කුසලානයන් හිදී උත්සාහක දිනුම් 11ක් වාර්තා කර තිබෙනවා.

ෆුල් බැක් ස්ථානයේ වේගවත් ධාවකයෙක් වූ ඔහු සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ 1998 වසරේ 23 වැනි වියේ සිටිද්දීයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 78ක් ක්‍රීඩා කර ඇති ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ උත්සාහක දිනුම් 40ක් වාර්තා කර තිබෙනවා.

ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වුණේ 2007 වසරේ එංගලන්තය එරෙහිව පැවැත්වුණු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයයි. එහි දී ඕස්ට්‍රේලියාව ලකුණු 12-10ක් ලෙස පරාජය වුනේ තරගාවලියෙන් ඉවතට විසි වෙමින්.

වසරේ හොඳම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාට පිරිනැමෙන John Eales පදක්කම දිනා ගත් පළමු පසුපෙළ ක්‍රීඩකයා බවට පත් වීමට ලේතම් 2006 වසරේ දී සමත් වීම විශේෂත්වයක්.

5 වැනි ස්ථානය – ඇඩම් ඈෂ්ලි කූපර් – ඕස්ට්‍රේලියාව – උත්සාහක දිනුම් 11

ඕස්ට්‍රේලියානු පසුපෙළ ක්‍රීඩක ඇඩම් ඈෂ්ලි කූපර් වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ උත්සාහක දිනුම් 11ක් සමඟින්. තවත් දින කිහිපයකින් ජපානයේ දී ආරම්භ වන 2019 රග්බි ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මූලික සංචිතයටත් ඔහු ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.  

ඒ අනුව George Greganට පසුව ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වන්නට ඈෂ්ලි කූපර් හට හැකි වනු ඇත. කූපර් මේ වන විට ලෝක කුසලාන තරග 17ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කළ තරග ගණනින් දෙවැනි වන්නේ එංගලන්තයේ සුපිරි ක්‍රීඩක ජේසන් ලෙනාර්ඩ්ට හා නවසීලන්ත නායක රිචී මැකොව් හට පමණි.

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කරන වයස්ගතම ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා වන 35 හැවිරිදි ඈෂ්ලි කූපර් වොලබීස් වෙනුවෙන් තෙවැනි වැඩිම උත්සාහක දිනුම් ලාභියා වේ. තරග 118ක දී ඔහු රැස් කර ගෙන ඇති උත්සාහක දිනුම් ගණන 37ක්.  

දැන් අප පිවිසෙන්නේ  ලෝක කුසලාන රග්බි පිටියේ වැඩිම උත්සාහක දිනුම් ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයින් සිව් දෙනා සොයා යන්නටයි.

4 වැනි ස්ථානය – Doug Howlet – නවසීලන්තය – උත්සාහක දිනුම් 13

ලෝක රග්බි පිටියේ පූජනීයම Wing ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Doug Howlett ලෝක කුසලාන තරගාවල දී උත්සාහක දිනුම් 13ක් වාර්තා කර තිබෙනවා .

වයස අවුරුදු 18 දී සුපර් රග්බි (එවකට සුපර් 12) පිටියට පිවිසුණු ඔහු හයිලෑන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගයේ දී ම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරන්නට සමත් වුණා. 2003 හා 2007 ලෝක කුසලාන ක්‍රීඩා කළ ඔහු 2007 තරගාවලියේදී ස්කොට්ලන්තයට එරෙහිව තරගයේ උත්සාහක දිනුමක් වාර්තා කරමින් නවසීලන්ත සුපිරි ක්‍රීඩක Christian Cullen පසු කර ගියේ ඕල් බ්ලැක්ස් වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් ලාභියා වෙමින්.    

 

3 වැනි ස්ථානය – Drew Mitchell – ඕස්ට්‍රේලියාව – උත්සාහක දිනුම් 14

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි තරග අවසන් කරන්නෙක් වන Drew Mitchell ලෝක කුසලාන ත්‍රිත්වයක් ක්‍රීඩා කර ඇත්තේ උත්සාහක දිනුම් 14ක් තමන්ගේ නමට ලියා ගනිමින්.

2015 තරගාවලියේ දී උරුගුවේ හා ස්කොට්ලන්තයට එරෙහිව උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමෙන් අනතුරුව, උත්සාහක දිනුම් 34ක් හා මුළු ලකුණු 170ක් සමඟින් ඕස්ට්‍රේලියාවේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට පත් වන්නට ඔහු සමත් වුනා.

Mitchell, සිය පළමු ලෝක කුසලානය වූ 2007 ලෝක කුසලානයේ දී උත්සාහක දිනුම් හතක තමන්ගේ නමට ලියා ගත්තේ ෆීජී කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම් ත්‍රිත්වයක් හා ජපානය හා කැනඩාවට එරෙහිව උත්සාහක දිනුම් ද්විත්වය බැගින් වාර්තා කරමින්. 

2011 ලෝක කුසලානයේ දී එක්සත් ජනපදය හා රුසියාවට එරෙහිව උත්සාහක දිනුම් වාර්තා කරමින් තවත් උත්සාහක දිනුම් තුනක් ඔහු තමන්ගේ නමට එකතු කර ගත්තා. 2015 වසරේදීත් තවත් උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ ඔහු වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත් වුණා.

සතෙකුගේ මුත්‍රාශයකින් හැදු රග්බි පන්දුව ආපු දුරක්

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන ද මතක් කළ සැණින් ඔබට සිහිවන නාමයක් “ගිල්බර්ට්” (Gilbert). ඔබ අනුමාන කළ ලෙසින්ම ThePapare.com හි මේ ලිපිය…

රග්බි ලෝක කුසලාන වල වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ නවසීලන්තයේ පූජනීය ක්‍රීඩක ජෝනාහ් ලෝමු හා දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා. ඒ උත්සාහක දිනුම් 15 බැගින් වාර්තා කරමින්.

දෙවන ස්ථානය – ජෝනාහ් ලෝමු – නවසීලන්තය – උත්සාහක දිනුම් 15

රග්බි ක්‍රීඩාවේ පළමු ලෝක මට්ටමේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ලෝමුගේ වාර්තා අදටත් නොබිඳී පවතිනවා. 1995 වසරේ සිය පළමු ලෝක කුසලානය ක්‍රීඩා කළ ඔහු රග්බි ලෝකයා දුටු සුපිරිම ධාවනයන් කිහිපයක හිමිකරුයි. 

1995 වසරේ රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඔහුගේ දක්ෂතා අදටත් රග්බි ලෝකයේ කතා බහට ලක් වෙනවා. කෙසේ වෙතත් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වුනේ ලෝක කුසලාන දෙකක් පමණයි. 2003 ලෝක කුසලානය කට ළඟ තිබෙද්දී ඔහු ඉතා දරුණු වකුගඩු ආශ්‍රිත රෝගයකට ලක් වීම නිසා රග්බි ක්‍රීඩාවට සමුදෙනවා.

කෙසේ වෙතත් 1995 අර්ධ අවසන් මහා තරගයේ දී ඔහු එංගලන්තයට එරෙහිව සුපිරි උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා. ලෝමු මේ උත්සාහක දිනුම් රැස් කළේ තරග 11කින් වන අතර ඔහු උත්සාහක දිනුම් වාර්තා කිරීමට අසමත් වුණේ තරග 3ක දී පමණයි.

පළමුවැනි ස්ථානය – බ්‍රයන් හබානා – දකුණු අප්‍රිකාව – උත්සාහක දිනුම් 15

හබානා රග්බි ලොව ඉතා ජනප්‍රියම චරිතයක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් 2007 රග්බි ලෝක කුසලනය ද දිනූ ඔහු 2007 වසරේ ලෝක රග්බි ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තා. රග්බි ලෝක කුසලාන තුනක් ක්‍රීඩා කර ඇති ඔහු ලෝක කුසලාන තරග 15ක් දකුණු අප්‍රිකා වර්ණයෙන් ක්‍රීඩා කර තිබෙනවා.

Wing ස්ථානයේ ක්‍රීඩා කළ ලොව වේගවත්ම ක්‍රීඩකයෙකු වූ ඔහු චීටා වෙකු සමඟ ධාවනයේ යෙදීම මුළු මහත් ලොවේම ආකර්ෂණය දිනා ගත්තා. 

ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් උත්සාහක දිනුම් 67 ක් රැස් කරගෙන ඇති අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම උත්සාහක දිනුම් ලාභියාගේ වාර්තාව ඇත්තේ ද ඔහුටයි. 2007 රග්බි ලෝක කුසලානයේ දී ඔහු උත්සාහක දිනුම් අටක් වාර්තා කළේ සුපිරි ක්‍රීඩක ජෝනාහ් ලෝමුගේ එක් ලෝක කුසලනයක වැඩිම උත්සාහක දිනුම් වාර්තාව ඉක්මවා යමින්.

කෙසේ වෙතත් 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආර්ජන්ටිනා තරගයේ දී ලෝමු පසු කර යන්නට තිබුණු අවස්ථා තුනක් ඔහුට ගිලිහී ගියේ අවාසනාවන්ත ලෙසයි.

රග්බි ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභීන් සමඟින් නුදුරේ දී ම හමුවෙමු, එතෙක් රැඳී සිටින්න ThePapare.com රග්බි ලෝක කුසලානයට පෙර ගමන් සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<