1987 වසරේදී පැවති පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව නිමාවීමෙන් අනතුරුව නැවතත් 1991 වසරේදී දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය එංගලන්තය, ප්‍රංශය, වේල්සය, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය යන රටවල් 5හි සත්කාරකත්වය ඇතිව පැවැත්විය.

රග්බි ක්‍රීඩාවේ උත්කර්ෂවත් ලෝක කුසලානය ඇරඹුණේ මෙහෙමයි

1987 වසරේ දී මුල්මවරට ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ලෝක රග්බි පිටියේ සිටින දැවැන්ත රටවල් දෙකක්…

එහිදී පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සහභාගි වූ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, ෆීජී, ජපානය, ආජෙන්ටිනාව, කැනඩාව, රුමේනියාව, ඉතාලිය, සිම්බාබ්වේ සහ ඇමරිකාව යන රටවල් දෙවන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා ද සහභාගි වූ අතර පසුගියවර සහභාගී වුණු ටොංගා කණ්ඩායම වෙනුවට බටහිර සැමෝවා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක්විය.  

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක්
Courtesy – gettyimages

තරගාවලියේ එක් එක් කාණ්ඩ වලට අයත් වුණු රටවල්

පළමු කාණ්ඩය

  • නවසීලන්තය
  • එංගලන්තය
  • ඇමරිකා එක්සත් ජනපදය
  • ඉතාලිය

දෙවන කාණ්ඩය

  • අයර්ලන්තය  
  • ජපානය
  • ස්කොට්ලන්තය
  • සිම්බාබ්වේ

ශ්‍රී ලංකා රග්බිවලට තල්ලුවක් දෙන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රබලයෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් උපදේශකවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ….

තෙවන කාණ්ඩය

  • ඕස්ට්‍රේලියාව
  • බටහිර සැමෝවා
  • වේල්සය
  • ආජෙන්ටිනාව  

සිව්වන කාණ්ඩය

  • ප්‍රංශය
  • කැනඩාව
  • රුමේනියාව
  • ෆීජී

පළමු වටයේ තරගවල ප්‍රතිඵල

ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති පළමු වටයේ තරග අවසානයේදී කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව එක් එක් කාණ්ඩයේ මූලික වටයේ තරගවල ප්‍රතිඵලයන් මෙසේය.

  • පළමු කාණ්ඩය  

මංගල ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය දිනූ නවසීලන්තය සහ සත්කාරක රටක් වූ එංගලන්තය මෙම කාණ්ඩය යටතේ තරග වැදුනු නිසා කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීම සඳහා ප්‍රබල සටනක් පැවතියද අවසානයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම දෙවන තැනට ඇද දමමින් හිටපු ලෝක ශූරයන් වූ නවසීලන්තය කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.

පළමු කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

නවසීලන්තය  18 – 12 එංගලන්තය  
ඉතාලිය  30 – 09 ඇමරිකාව
නවසීලන්තය  46 – 06 ඇමරිකාව  
එංගලන්තය  36 – 06 ඉතාලිය
එංගලන්තය  37 – 09 ඇමරිකාව
නවසීලන්තය  31 – 21 ඉතාලිය

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති තරගයේ උද්වේගකර අවස්ථාවක්
Courtesy – gettyimages
  • දෙවන කාණ්ඩය  

සත්කාරක රටවල් 2ක් වූ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පළමු ස්ථානය සඳහා සටන් වදින විට සිම්බාබ්වේ කණ්ඩායම සහ ජපන් කණ්ඩායම මන්දගාමී තරග රටාවක නිරත විය. අවසානයේදී අයර්ලන්තය අභිබවා ස්කොට්ලන්තය පළමු ස්ථානය දිනාගන්නා විට අයර්ලන්තයට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

දෙවන කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

ස්කොට්ලන්තය  47 – 09 ජපානය
අයර්ලන්තය  55 – 11 සිම්බාබ්වේ
අයර්ලන්තය  32 – 16 ජපානය
ස්කොට්ලන්තය  51 – 12 සිම්බාබ්වේ
ස්කොට්ලන්තය  24 – 15 අයර්ලන්තය
ජපානය  52 – 08  සිම්බාබ්වේ

ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර පැවති තරගයේ අවස්ථාවක්
Courtesy – gettyimages
  • තෙවන කාණ්ඩය

පළමු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ වේල්සය සහ ඕස්ට්‍රේලියාව මෙම කාණ්ඩයේ ප්‍රබලම කණ්ඩායම් 2ක බවට පත්ව සිටියද තරගාවලිය සඳහා මුල්ම වරට සහභාගී වූ බටහිර සැමෝවා කණ්ඩායම පෙරළියක් කරමින් වේල්ස් කණ්ඩායම අභිබවා ඕස්ට්‍රේලියාවට පමණක් දෙවෙනි වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

තෙවන කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

ඕස්ට්‍රේලියාව  32 – 19 ආජෙන්ටිනාව
බටහිර සැමෝවා  16 – 13 වේල්සය
ඕස්ට්‍රේලියාව  09 – 03 බටහිර සැමෝවා
වේල්සය  16 – 07 ආජෙන්ටිනාව
ඕස්ට්‍රේලියාව  38 – 03 වේල්සය
බටහිර සැමෝවා  35 – 12 ආජෙන්ටිනාව

ඕස්ට්‍රේලියා-බටහිර සැමෝවා තරගයේ අවස්ථාවක්
Courtesy – gettyimages
  • සිව්වන කාණ්ඩය

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනූ ප්‍රංශ කණ්ඩායම පහසුවෙන්ම කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගන්නා විට කැනඩා කණ්ඩායම ඔවුන් සමඟ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ ඉතිරි කණ්ඩායම විය.

සිව්වන කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

ප්‍රංශය  30 – 03 රුමේනියාව
කැනඩාව  13 – 03 ෆීජී
ප්‍රංශය  33 – 09 ෆීජී
කැනඩාව  19 – 11 රුමේනියාව
රුමේනියාව  17 – 15 ෆීජී
ප්‍රංශය  19 – 13 කැනඩාව

ප්‍රංශ-කැනඩා තරගයේ තියුණු අවස්ථාවක්
Courtesy – gettyimages

අර්ධ අවසන් පූර්ව වටය

පළමු වටයේ තරගවල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර සැමෝවා යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එම අර්ධ අවසන් පූර්ව වටයේදී එක් එක් කණ්ඩායම් තරග වැදුනේ පහත ආකාරයටය.

  • එංගලන්තය සහ ප්‍රංශය

අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් තියුණුම තරගයක් වූ මෙම තරගයේදී එංගලන්ත ක්‍රීඩක ජොනතන් වෙබ් ලකුණු 11ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේදී එංගලන්ත කණ්ඩායම පසුගියවර අනුශූරයන් වූ ප්‍රංශ කණ්ඩායම ලකුණු 19-10ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ප්‍රංශ-එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්
Courtesy – gettyimages
  • ස්කොට්ලන්තය සහ බටහිර සැමෝවා  

තරගාවලිය තුළ පෙරළියක් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බටහිර සැමෝවා කණ්ඩායම සමත් වුවත් මෙම තරගය ස්කොට්ලන්ත කණ්ඩායම 28 – 06ක් ලෙස පහසුවෙන් ජයගත්තේය.

ස්කොට්ලන්තය සහ බටහිර සැමෝවා අතර තරගයේ අවස්ථාවක්
Courtesy – gettyimages
  • ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය

අර්ධ අවසන් පූර්ව වටයේ ඉතාමත්ම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය වරින් වර දෙපිලටම දෝලනය වූ තරගයක් වුවත් අවසානයේදී මෙම තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 19-18ක් ලෙස ජයග්‍රහණය ලැබුවේ ඩේවිඩ් ඉයන් සහ මයිකල් පැට්‍රික් තෝම්ස් දැක්වූ සුපිරි දස්කම් නිසාය.  

ඕස්ට්‍රේලියා-අයර්ලන්ත තරගයේ උද්වේගකර අවස්ථාවක්
Courtesy – gettyimages
  • නවසීලන්තය සහ කැනඩාව

මංගල ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ශූරතාවය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායම කැනඩා කණ්ඩායම හමුවේ ලකුණු 29-13ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබමිනි.

කැනඩා ක්‍රීඩකයන් සමඟ තියුණු සටනක යෙදෙන නවසීලන්ත ක්‍රීඩකයන්
Courtesy – gettyimages

අවසන් පූර්ව වටය

මංගල ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙවරත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන විට, ගියවර එම වරම අහිමි වූ ස්කොට්ලන්තය සහ එංගලන්තය මෙවර එම අවස්ථාව උදාකර ගත්තේය.

  • පළමු අවසන් පූර්ව තරගය

සත්කාරක රටවල් 2ක් වූ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවති මෙම තරගය මුල සිටම තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් 2ටම කිසිඳු උත්සාහක දිනුමක් ලබාගැනීමට නොහැකි වූ නිසා ලකුණු තත්වය 06-06ක් ලෙස සටහන් විය. නමුත් පසුව ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස්ටෝපර් ඇන්ඩෘ වාර්තා කළ ඩ්‍රොප් ගෝලය නිසා තරගයේ ජයග්‍රහණය ලකුණු 09-06ක් ලෙසින් එංගලන්තයට හිමිවූයේ ප්‍රථම වරට අවසන් තරගය සඳහා ඔවුන්ව සුදුස්සන් කරමිනි.

පළමු අවසන් පූර්ව තරගයේ උණුසුම් අවස්ථාවක්
Courtesy – gettyimages
  • දෙවන අවසන් පූර්ව තරගය

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම තරගාවලිය පුරා දැක්වූ දස්කම් අනුව ඔවුන් මෙම තරගය ද පහසුවෙන් ජයගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද ලෝක කුසලාන රග්බි තරගාවලි ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමේ අපරාජිත භාවය බිඳ දැමූ ඕස්ට්‍රේලියානුවන් එම තරගය ලකුණු 16-06ක් ලෙස ජයග්‍රහණය කරමින් එංගලන්තය සමඟ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ඕස්ට්‍රේලියානුවන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව
Courtesy – gettyimages

තරගාවලියේ තෙවන ස්ථානය නවසීලන්තයට

තරගාවලියේ තෙවන ස්ථානය සඳහා නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය නවසීලන්ත කණ්ඩායම කිසිඳු අපහසුවකින් තොරව ලකුණු 13-06ක් ලෙස ජයග්‍රහණය කළේ තරගාවලියේ තෙවන ස්ථානය ලබාගනිමිනි. ස්කොට්ලන්ත කණ්ඩායම මෙම තරගයෙන් පරාජය වුවත් තරගාවලිය පුරාවටම ඔවුන් විශිෂ්ට දස්කම් දැක්වීය.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක්
Courtesy – gettyimages

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල්ම වරට රග්බි ලෝක ශූරයන් විය

අවසන් තරගය ආරම්භයට පෙර
Courtesy – gettyimages

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති රග්බි ලෝක කුසලාන අවසන් තරගයේදී ආරම්භයේ සිටම එංගලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියානුවන් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පළමු භාගය අවසන් වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 09-00ක් ලෙස පෙරමුණේ පසුවූයේ තරගයේ වාසිය ඔවුන් දෙසට හරවා ගනිමිනි.

අවසන් තරගයේ තියුණු අවස්ථාවක්
Courtesy – gettyimages

නමුත් දෙවන භාගයේදී එංගලන්ත ක්‍රීඩක ජොනතන් වෙබ් ක්‍රියාත්මක වෙමින් දඬුවම් පහර 2ක් මඟින් ලකුණු 6ක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තද එය එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූයේ ඕස්ට්‍රේලියානුවන් දෙවන භාගයේදී ද තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් නිසාය. එලෙස ඕස්ට්‍රේලියානුවන් ලබාගත් ලකුණු 3 නිසා අවසානයේදී ඔවුන් තරගය ලකුණු 12-06ක් ලෙස ජයග්‍රහණය කරන ලද්දේ මුල්ම වරට රග්බි ලෝක ශූරයන් වෙමිනි.

ඕස්ට්‍රේලියානු නායකයා ජයග්‍රාහී කුසලානය සමඟ
Courtesy – gettyimages

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<