රියෝ ඔලිම්පික් උළෙලේ ගෙවී ගිය දිනය මලල ක්‍රීඩා පිටිය තුල පෙරලි රැසක් සිදුවූ දිනයක් විය. දකුණු අප්‍රිකාවේ වෙඩ් වෑන් නීකර්ක් වසර 17ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ හෙලද්දී උසෙයින් බෝල්ට් ලොව වේගවත්ම මිනිසා කිරුළ 3 වන වරටත් තම හිස පැළඳ ගැනීමට සමත් විය.
පසුගිය ලිපි: රියෝ උණුසුම – විශිෂ්ටයාට ස්වර්ණමය සමුගැනීමක්
‘ස්තූතියි ගැට්ලින් – නැවත එන්න’

‘ලොව වේගවත්ම මිනිසා’ විරුදාවලිය වසර 8ක් රැකගෙන සිටි බෝල්ට් මෙවර ඔලිම්පික් උළෙලට එක් වුනේ එම විරුදාවලියේ අයිතිය තවත් වසර 4කට තමන් සතු කර ගැනීමේ අරමුණ ඇතිවයි.
2004 වසරේ තමන් දිනාගත් ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම 2008 වසරේ සොරාගත් බෝල්ට් පරාජය කිරීමේ දැඩි උත්සයක යෙදී සිටින ගැට්ලින් මීට පෙරද එම දස්කම අසලට පැමිණ තිබුනත් එය සැබෑ කර ගැනීමේ වැඩිම සම්භාවිතාවක් පැවතුනේ මෙම ඔලිම්පික් උළෙලේදීයි.

කෙසේ වෙතත් අවසන් තරගයේදී බෝල්ට් අභිබවමින් විශිෂ්ට ආරම්භයක් ලබා ගන්නට ගැට්ලින් සමත් විය. තරගයේ පළමු මීටර් 50 අවසන් වන විටත් ඔහු තරගයේ පෙරමුණ ගෙන සිටියේ ලොව පුරා බෝල්ට් ලෝලීන්ගේ හදවත් මදකට නතර කරමිනුයි.
නමුත් ගැට්ලින් ඇතුළු ඇමරිකානුවන්ගේ සතුට පැවතුනේ තවත් තත්ත්පර 2ක් හෝ 3ක් පමණයි. තම දිගු දෙපා මැනවින් උපයෝගී කරගත් උසෙයින් බෝල්ට් තරගයේ අවසන් කොටස තම පෞද්ගලික අයිතියට පවරා ගත්තේ තම ඔලිම්පික් රන් පදක්කම් එකතුව 7ක් දක්වා ඉහල දමා ගනිමිනුයි.

2008 සහ 2012 ඔලිම්පික් උළෙල දෙකේදීම පිරිමි මීටර් 100, 200 සහ 100X4 සහය රන් පදක්කම් ත්‍රිත්වයම තම අයිතියට පවරාගත් ‘ලයිට්නිං බෝල්ට්’ මෙවරත් ඉතිරි ඉසව් දෙකේ රන් පදක්කම් ජය ගැනීමට සමත් වුවහොත් ලොව පවතින තුරාවට ඔහුට සම කළ හැකි මලල ක්‍රීඩකයෙක් මෙලොව බිහි නොවනු ඇති.
පිරිමි මීටර් 100 තරග ප්‍රතිඵල
- රන් පදක්කම – උසෙයින් බෝල්ට් – ජැමෙයිකාව – තත්ත්පර 9.81
- රිදී පදක්කම – ජස්ටින් ගැට්ලින් – ඇමරිකාව – තත්ත්පර 9.89
- ලෝකඩ පදක්කම – අන්ඩ්‍රේ ඩි ග්‍රාස් – කැනඩාව – තත්ත්පර 9.91
ඇමරිකාවට තවත් පහරක්

පිරිමි මීටර් 400 අවසන් තරගය තරු පිරි සටනක් බවට පත්ව තිබුණි. කිරානි ජේම්ස්, ල’ශෝන් මෙරිට්, මයිකල් සේඩේනියෝ වැනි තරගකරුවන් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුනේ නීකර්ක්ට වඩා ඉහල දස්කම් දක්වමිනි. මේ අනුව ඔහුට තරමක් අසීරු මංතීරුවක් වන 8වන මංතීරුවේ තරග වැදීමට සිදුවිය.

පිරිමි මීටර් 400 තරග ප්‍රතිඵල
- රන් පදක්කම – වේඩ් වැන් නීකර්ක් – දකුණු අප්‍රිකාව – තත්ත්පර 43.03
- රිදී පදක්කම – කිරානි ජේම්ස් – ග්‍රෙනේඩාව – තත්ත්පර 43.76
- ලෝකඩ පදක්කම – ල’ශෝන් මෙරිට් – ඇමරිකාව – තත්ත්පර 43.85
ඇන්ඩි මරේ ඉතිහාසයට එක්වෙයි.

මේ තරගයේ පළමු තරග වටය ලකුණු 07 – 05ක් ලෙස ජයගන්නට මරේ සමත් විය. ඩෙල් පෝර්ටෝ යලිත් තරගයට පිවිසුනේ දෙවන තරග වටය ලකුණු 06 – 04ක් ලෙස ජය ගනිමිනි. කෙසේ වෙතත් තම ජාත්‍යන්තර අත්දැකීම් මනාව උපයෝගී කරගත් මරේ 3 වන සහ 4 වන තරග වට 06 – 02ක් සහ 07 – 05ක් ලෙස ජය ගනිමින් රන් පදක්කමේ අයිතිය තහවුරු කර ගන්නට සමත් විය.
හෙට දිනයේත් තවත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට























