නොවැම්බර් 2 වන දින (අද) සිට 15 වනදා දක්වා මැලේසියාවේ කුචින් නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු සහයෝගිතා කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනෙන් පිටත්විය.

පසුගිය ලිපි: ආබාධ රැසකින් පෙලෙන ශ්‍රී ලංකා සංචිතයට ආදේශකයන් පහක්

“ThePapare.com” සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී කාම්බෝජයට එරෙහි සුහද තරඟය ගැනත්, කණ්ඩායමේ පුහුණු කටයුතු ගැනත්, එළඹෙන සහයෝගිතා කුසලානය ගැනත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ඩඩ්ලි ස්ටෙයින්වෝල් සිය අදහස් පලකලේ මෙසේයි.

“සහයෝගිතා කුසලාන තරඟාවලිය වෙනුවෙන් සුදානම් වීම සඳහා කාම්බෝජ සංචාරය අපට බොහෝසෙයින් ඉවහල් වුණා. මාස 10කින් අප ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. ක්‍රීඩා උපක්‍රම වල දුර්වලකමට වඩා පෞද්ගලිකව සිදුවූ අතපසුවීම් නිසයි අපි අතින් ගෝල කිහිපයක් ගිලිහුණේ. මේ වන විට අපි ඒ දුර්වලකම් හඳුනාගෙන තිබෙනවා.”

Photos: Sri Lanka National Squad Practice Session | Solidarity Cup

Sri Lanka National Football Squad Practice Session | Solidarity Cup 2016

“ක්‍රීඩකයන් ආරක්ෂක පෙල වෙත මාරුවීමේදී තමයි අපට ගැටළුවක් තිබුණේ. එහි ඒකාග්‍රතාවයක් තිබුනේ නැති බව මා වීඩියෝ දර්ශන අධ්‍යනය කරන විට දුටුවා. ඒ වගේම අපි පිටිය ආක්‍රමණය කිරීමේදී අවස්ථාවන් නිර්මාණය කරගැනීමේ සහ පන්දුව පාලනය කරගැනීමේ දුර්වලතාවයක් තිබුණා.” යැයි ස්ටෙයින්වෝල් කාම්බෝජ සංචාරය ගැන තම අදහස් දැක්වීය.

ලොව පුරා බොහෝ වර්තමාන පුහුණුකරුවන් ලෙසම ‘පන්දුව කණ්ඩායම අතැතිව ක්‍රීඩා කිරීමේ ශෛලිය’ ට වැඩි කැමැත්තක් දක්වන ස්ටෙයින්වෝල් එය ජාතික තලයේ  ප්‍රචලිත කිරීමේ අවධානයෙන් පසුවෙයි.

“පන්දුවට පහරදී හඹා යනවාට වඩා පන්දුව අතැතිව ක්‍රීඩා කරන ශෛලිය හොඳ බවයි පුහුණුකරුවෙකු හැටියට මගේ දර්ශනය. ආරක්ෂක පෙල සිට ආක්‍රමණ පෙල දක්වා කෙමෙන් ගොඩනැගෙමින් යන ක්‍රමය ඇති කිරීමට තමයි මා බලාපොරොත්තු වෙන්නේ. කලාතුරකින් දිගු පන්දු පහරවල් එල්ල වේවි. එනමුත් පන්දුව අපේ සන්තකයේ තබා ගැනීම තමයි අපේ අරමුණ.”යැයි  ඔහු තවදුරටත් අදහස් දැක්වීය

ආබාධ රැසකින් පීඩාවිඳීම නිසා අනාගත බලාපොරොත්තු සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය.

“අෆාම් අක්‍රම් සහ දිලිප් පීරිස් කියන්නෙ දක්ෂ ලාබාල ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඥානරූබන් විනෝද් කියන්නෙත් මගෙ අංක එකේ ප්‍රහාරකයා. ඥානරූබන් නැතිවීම අපට ලොකු පාඩුවක්. අප ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ආදේශ කළා. හරියටම කිව්වොත් හයදෙනෙක්. ඔවුන් පුහුණුවේදී හොඳින් දක්ෂතා දැක්වුවා.”යැයිද ඔහු සඳහන් කළේය.

Photo Album: AFC Solidarity Cup (Malaysia 2016) – Press Conference

“සහයෝගිතා කුසලානයේ අවසන් පුර්ව තරඟයට පැමිණීම අපගේ ප්‍රධාන ඉලක්කයයි.” තමාගේ සහ කණ්ඩායමේ අරමුණ ගැන අදහස් දක්වමින් ස්ටෙයින්වෝල් එසේ කීය.

කාම්බෝජ සංචාරයෙන් පසු මාලදිවයින් එෆ්.ඒ කුසලාන තරඟාවලියේ ‘ඊගල්ස්’ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා රටින් පිටවීමත් සමඟ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් උද්යෝගිමත්ව තබා ගැනීමේ වගකීම භාරවුයේ ජ්‍යෙෂ්ඨ උප නායක නිපුන බණ්ඩාරටත් උප නායක මොහොමඩ් රිෆ්නාස්ටත් ය.

“අපි කාම්බෝජයට ගියේ අළුත් පුහුණුකරුවෙක් සහ අළුත් කණ්ඩායමක් සමඟ. අප හැමටම එය ක්‍රීඩාව පිළිබඳව තවත් ඉගෙනීමට අවස්ථාවන් සලසා දුන්නා”. මාස 10කට පසු සහභාගී වු ජාත්‍යන්තර සුහද තරඟය ගැන අදහස් දක්වමින් නිපුන බණ්ඩාර එසේ පැවසීය. සෙසු ක්‍රීඩකයන් මෙන්ම බණ්ඩාරද සහයෝගිතා කුසලානය පිළිබඳ ධනාත්මක ආකල්පයකින් පසුවෙයි.

“අපි අළුත් ක්‍රීඩකයන් හයදෙනෙක් ඇතුළත් කළා. එය ලොකු අවධානමක් කණ්ඩායම පැත්තෙනුත් පුහුණුකරුගේ පැත්තෙනුත්. මොකද ඔවුන්ට පුහුණුවෙන්න ලැබුණේ සතියක දෙකක වගේ කාලයක්. නමුත් ඔවුන් හොඳින් පුහුණුවීම් කළා. අපි අපේ දුර්වලකම් හොඳින් හඳුනාගෙන පුහුණුවේදී හොඳ දියුණුවක් ළඟා කර ගත්තා.”

“අපි යන්නේ දිනන්න බලාගෙන. අපිට අත්දැකීම් සහිත සහ රහිත ක්‍රීඩකයන් යන දෙවර්ගයේම හොඳ සංකලනයක් තියෙනවා. ඉතින් අපි හොඳින් කරාවි යැයි මට හොඳ විශ්වාසයක් තියෙනවා.” නිපුන බණ්ඩාර අධිෂ්ඨානශීලීව එසේ පැවසුවේ අවසන් වශයෙනි.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට

2016-AFC-Solidarity-Cup group fixture

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ලඟා වන්නට ඔවුන්ට හැකි වේවිද? තරගාවලියේ වඩාත්ම අපේක්ෂා සහගත ක්‍රීඩකයා කවුරුන් වෙයිද?
ඔබේ අදහස ප්‍රකාශ කරන්න.