ටෙස්‌ට්‌ කඩුලු තුන්සීයෙන් නවතින්නේ නැහැ – රංගන හේරත්

285
Rangana Herath

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන් සමුගෙන යද්දී තවදුරටත් කණ්‌ඩායමට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සේවය කිරීමේ ෙච්තනාවෙන් පසුවන රංගන හේරත් ශ්‍රී ලංකා පිලට නැතුවම බැරි සම්පතක්‌ බවට පත්ව තිබේ.

2014 විස්‌සයි විස්‌ස ලෝක ශූරතාව දිනා දීමට අවශ්‍ය වැඩි බරක්‌ ඉසිලු හේරත් එතැන් පටන් දෙවසරක යන තුරු විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ අංශයෙන් ඉවත්ව සිට මෙවර යළිත් විස්‌සයි විස්‌ස ලෝක ශූරතාවට ප්‍රවිෂ්ට විය. එබැවින් මෙවරද ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කිරීමේ තුරුම්පුව රංගන හේරත් සතුව ඇත. 

අපි හොඳින් පුහුණුවීම් කරනවා. පුහුණුවීම්වලදී ක්‍රීඩකයන් හැමෝම එකාවන්ව උනන්දුවෙන් වැඩ කරනවා. කොහොම හරි එංගලන්ත තරගය දිනා ගන්න තමයි දැන් අපිට තියෙන ලොකුම ඉලක්‌කය. ඒක ලේසි තරගයක්‌ නෙමෙයි. නමුත් අපි අපේ උපරිමය කළොත් තරගය ජය ගන්න පුලුවන්. එංගලන්ත කණ්‌ඩායමත් මේ දිනවල ඉතාමත් හොඳින් තරග කරනවා. අවසන් පූර්ව වටයට එන්න එංගලන්තයට වගේම අපිටත් ඒ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය තත්ත්වයක තමයි තියෙන්නෙයනුවෙන් හේරත්ගෙන් දිවයිනකළ විමසුමේදී පිළිතුරු ලැබිණි.

ඉන්දියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක්‌ දැක්‌වීමද හේරත්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට අතිරේක වාසියක්‌ වී තිබේ. කෙසේ වෙතත් ඔහු සමග අනෙක්‌ අන්තයෙන් බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී පන්දු යෑවූ ජෙෆ්රි වැන්ඩ්‍රසි පිළිබඳවද රංගන හේරත් ඉතාමත් විශ්වාසයෙන් සිටින බවක්‌ හැඟෙයි.

වැන්ඩ්‍රසි දඟ පන්දු යවන්නෙක්‌ ලෙස හොඳ අනාගතයක්‌ තියෙන ක්‍රීඩකයෙක්‌. ඔහු කොදෙව් තරගයේදී පෙන්නුවා තමන්ට කළ හැකි දේ පිළිබඳව. අනාගතයේදී ඔහු හොඳින් ක්‍රීඩා කරයි කියල විශ්වාස වෙනවා. ඉදිරි තරගවලදීත් ඔහු ලොකු සේවයක්‌ කරයි කියල අපිට විශ්වාසයි.

38 වැනි වියේ පසුවන රංගන හේරත් මේ වන විට ගෙවන්නේ සිය ක්‍රිකට්‌ දිවියේ අවසන් වසර කිහිපය වේ. ආබාධවලින් බේරී ඉදිරියටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට්‌ තරග අංශ තුනටම ඔහු ක්‍රීඩා කරයිද යන්න මේ වන විට ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන් තුළ කුකුසක්‌ ඇතිව තිබේ. වයස කෙසේ වෙතත් රංගන හේරත්ගේ දක්‍ෂතාවට ළඟා වීමට නම් තවම කිසිවෙකුටවත් නොහැකි සෙයකි.

මම ක්‍රිකට්‌ වලින් සමුගන්නවාද නැද්ද කියල තවම තීරණය කර නැහැ. දැන් විස්‌සයි විස්‌ස ලෝක කුසලානට පමණයි අවධානය යොමු කරන්නෙ. ඒ නිසා ඉදිරියේදී මම මොකද කරන්නෙ කියල තීරණය කරනවායෑයි පැවසීය.

ආබාධවලින් බේරී අත්‍යවශ්‍ය තරගවලට පමණක්‌ රංගන හේරත්ව පරිස්‌සම් කර ගැනීමට පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවද කටයුතු කළේය. හේරත්ද සිය කැමැත්තෙන්ම එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගවලින් පසුගිය වසර කිහිපයේදී දුරස්‌වී ටෙස්‌ට්‌ තරග වෙනුවෙන් සිය ශ්‍රමය කැප කළේය. ඒ ටෙස්‌ට්‌ තරගවලට නම් හේරත් නැතුවම බැරි ක්‍රීඩකයෙක්‌ වී තිබෙන හෙයිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ කඩුලු තුන්සියයේ සීමාව ලැබූ තෙවැන්නා වීමට හේරත්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු තුනක්‌ පමණි. ඉදිරියේදී එන එංගලන්ත සංචාරයේදී ඔහු එම කඩයිම පසුකරමින් සිය ක්‍රිකට්‌ දිවියට සමුදේවිද යන්න විමසන ලදුව එවැනි අදහසක්‌ තමන්ට නොමැතිව බව පැවසීය. එය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන්ට නම් සුබවාදී පණිවුඩයකි.

”මම ටෙස්‌ට්‌ කඩුලු තුන්සිය ගත්ත කියල සමුගන්න තීරණය කරල නැහැ. තව ටික කාලයක්‌ ටෙස්‌ට්‌ තරගවලට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලංකාවට ගිහිල්ල ඒ ගැන වැඩි අවධානයක්‌ යොමු කරන්න මා බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන්නෙ විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉදිරි ගැන සිතමින් කටයුතු කිරීම පමණයි. කොහොමත් වයසත් එක්‌ක ආබාධ වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා මොකක්‌ හරි එක්‌ දෙයක්‌ වෙනුවෙන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා” යෑයි හේරත් වැඩිදුරටත් පැවසීය.

”ඕනෑම කණ්‌ඩායමකට අසාර්ථක කාලයක්‌ තියෙනවා. අපිටත් පසුගිය තරගවලදී එහෙම දෙයක්‌ තමයි ඇති වුණේ. හැමෝම උනන්දුවෙන් කැපවීමෙන් මොන දේ කළත් හරි ගියේ නැහැ. නමුත් ඉදිරියේදී එහෙම වෙන එකක්‌ නැහැ කියල මම විශ්වාස කරනවා.” යෑයි හේරත් පවසයි.

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ දඟ පන්දු යෑවීමේ අංශය තනිවම කරමත තබා ගත් යුගයක රංගන හේරත්ට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ ලබා ගැනීමට ඔහු ඉවත් වන තුරු බලා සිටීමට සිදුවිය. එසේ නොවුනා නම් අද වන විට රංගන හේරත් ටෙස්‌ට්‌ කඩුලු හාරසියයක්‌ හෝ පන්සියයක්‌ දවාගත් තරුවක්‌ බවට පත්වන්නට ඉඩ තිබුණි. මේ වන විට හේරත් ටෙස්‌ට්‌ තරග 67 කදී කඩුලු 297 ක්‌ද එක්‌දින තරග 71 කදී කඩුලු 74 ක්‌ සහ විස්‌සයි විස්‌ස තරග 15 කදී කඩුලු 17 ක්‌ දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යෑවීමේ ප්‍රධාන තුරුම්පුව බවට පත්ව තිබේ. විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජයග්‍රාහීව අවසන් කිරීමට සිහින මවන හේරත්ට එම වාසනාව උදා වුවහොත් එය ඔහුගේ විස්‌සයි විස්‌ස අවසන් තරගාවලිය වන්නටද බොහෝ දුරට ඉඩ තිබේ.