T20 ලෝක කුසලානයට අපේක්ෂිත ශ්‍රී ලංකා සංචිතය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

16301

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය හෙට (10) දිනය වන විට නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටිනවා.

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් 10 වැනිදාට පෙර සියලු කණ්ඩායම්වල නිල සංචිත තෝරා අවසන් කර යුතුයි. ඉන්පසුව තවත් මාසයකට ආසන්න කාලයක් ඇතුළත (ඔක්තෝබර් 10 වැනිදා දක්වා) සංචිතවල යම් වෙනස්කමක් වෙතොත් ඒ සඳහා අවසර හිමිවනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව එහි දී නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව තරග කරනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් සුපිරි 12 වටයට යාමට සමත් වුවහොත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පිළිවෙළින් A1 සහ B1 ලෙස සුපිරි 12 වටයේ සිය අසුන් වෙන් කර ගනු ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට තේරී පත්වුවහොත්, සුදුසුකම් ලබා ගැනීමේ වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමඟ තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින්

නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ උප නායකයා ලෙස මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතය මෙහෙය වනු ඇත.

ශානකගේ නායකත්වය යටතේ ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

එසේම නිමා වූ Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys කණ්ඩායමයි.

COVID-19 වයිරසය ආසාදනය වීමෙන් සුවය ලබා නැවතත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර සිටින කුසල් ජනිත් පෙරේරා කඩුලු රකින ආරම්භක පිතිකරුවා ලෙස සංචිතයට එක්වනු ඇත. 

23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු මෑතක දී පැවති තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසි අතර 24 හැවිරිදි චරිත් අසලංක කණ්ඩායමේ මැදපෙළ සවිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වනු ඇත. 

අසලංක දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය අවසානයේ දී තරග 3ක් තුල ලකුණු 196ක් ලබාගෙන තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයට පාත්‍ර වුනා.

ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කටයුතු කරනු ඇත. ඔවුන් දෙදෙනාම දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලිය නිමා වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යන්නේ, මෙවර IPL තරගාවලියේ ඉතිරි තරගවල දී Royal Challengers Bangalore නියෝජනය කිරීම වෙනුවෙනි. 

ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනාටම ඔක්තෝබර් 7 සහ 9 දිනවල දී ඕමානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙක මඟ හැරී ගියත්, ඔවුන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සඳහා එකතු වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන බව නිසැකයි.

අතිරේක කඩුලු රකින්නා/ආරම්භක පිතිකරුවා

කඩුලු රකින ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා ඉදිරියෙන්ම සිටින අතර ඔහුගේ සහායක ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු සිටිනවා. නමුත් මේ සංචිතය සඳහා තවත් අතිරේක කඩුලු රකින්නෙක් නම් කළ යුතු වෙනවා.

මිනෝද් භානුක ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරග තුනම ක්‍රීඩා කළ නමුත්, Dialog-SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලබා ගත් ලකුණු 74 හැරෙන්නට සාර්ථක ලකුණක් ලබා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. 

එසේම දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු එක්දින තරග දෙකේ දී ද මිනෝද් හට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 27ක් සහ 7ක් පමණයි.

Dialog-SLC ආරාධිත ක්‍රිකට් තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවෙකු ලෙස ලබා ගත් සාර්ථකත්වය නිසාවෙන් ඔහු ලෝක කුසලාන සංචිතයේ අතිරේක කඩුලු රකින්නා ලෙස නම් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

අංක 3 ස්ථානයේ ගැටලුව

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නික්ම යෑමෙන් පසුව වසර 4-5ක් පමණ කාලයක් පුරාවට එම  ස්ථානය සඳහා හොඳ පිතිකරුවෙක් තවමත් තේරීපත් වී නැහැ. 

කෙසේ නමුත් භානුක රාජපක්ෂ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා එම ස්ථානය සඳහා සංචිතයට නම් කිරීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙනවා.

භානුක යනු සීමිත පන්දුවාර තරගවල දී වේගවත්ව පන්දුවට පහර දීමට හැකියාවක් ඇති පිතිකරුවෙකු වන නමුත් ඔහුට නිමා වූ ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය සහ ආරාධිත තරගාවලිය යන දෙකම මඟ හැරී ගියා. ඒ ආබාධයක් නිසාවෙනුයි. පසුව ඔහු සහභාගි වූ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරග දෙකේ දී එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්, ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දී SLC Greens නියෝජනය කරමින් නොකඩවා අර්ධ ශතක තුනක් ලබා ගන්නට සමත් වුනා. එසේම ඔහුට දෑතින්ම පන්දු යැවීමේ හැකියාව තිබෙන නමුත් සිය පිතිකරණය සඳහා ඔහු වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

පන්දු යවන්නන්ගේ බල ඇණිය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරුවල ස්වභාවය අනුව දඟපන්දු යවන්නන් වෙත වැඩි බරක් තැබීමට සිදු වෙනවා. එසේම ලෝක කුසලානයට පෙර සැප්තැම්බර් සහ ඔක්තෝබර් මුල් කාලයේ දී IPL තරග සඳහා එම තණතීරු භාවිත වන නිසා ලෝක කුසලානය වන විට එම තණතීරු තව තවත් දඟපන්දු යවන්නන්ට යෝග්‍ය වීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරුණ දඟපන්දු යවන්නන් දෙදෙනෙක් වන ප්‍රවීන් ජයවික්‍රම සහ මහීෂ් තීක්ෂණ සිය පළමු ලෝක කුසලාන අත්දැකීම ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනෙක් වෙනවා.

ප්‍රවීන් මේ වසර ආරම්භයේ දී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් අතර ඔහු එම තරගයේ දී කඩුලු 11ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා. ඉන්පසුව ඔහුට සීමිත පන්දුවාර තරග තුල දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණු අතර එම තරගවල දී ද ඔහු ඉතාමත් හොඳින් දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

මහීෂ් තීක්ෂණ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර ඔහු සිය මංගල තරගයේ දී ම ලකුණු 37කට කඩුලු 4ක් දවා ගත්තේ අනාගතයේ දී ඉතාමත් හොඳ දඟපන්දු යවන්නෙක් විය හැකි බවට ඉඟි පළ කරමිනි.

ශ්‍රී ලංකාව සතුව දැනට සිටින අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නා වන අකිල දනංජය මෑතක දී පැවති තරග බොහෝමයක දී පසුබෑමකට ලක්වුණු නමුත්, සංචිතයේ සමබරතාවය සහ අත්දැකීම් පිළිබඳව සලකා බැලීමේ දී ඔහුට ද මේ ලෝක කුසලාන සංචිතයේ ඉඩක් ලැබීමට වැඩි ඉඩක් තිබෙනවා. 

ඊට අමතරව ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින් හට ද පන්දු යැවීමෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකි.

වේගපන්දු යවන්නන්ගේ බලඇණියේ සිටින ප්‍රධානතම තුරුම්පුව වන්නේ දුෂ්මන්ත චමීරයි. ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, චාමික කරුණාරත්න හට ද පන්දු යැවීමේ හැකියාව තිබෙන අතර වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු ද මේ සංචිතය සඳහා ඇතුළත් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අපේක්ෂිත ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ, අකිල දනංජය, බිනුර ප්‍රනාන්දු.

අපේක්ෂිත අතිරේක ක්‍රීඩකයින්: ලහිරු මධුසංක, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර.

පළමු වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • නැමීබියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 18 වැනිදා – අබුඩාබි හිදි
  • අයර්ලන්තයට එරෙහි තරගය  – ඔක්තෝබර් 20 වැනිදා අබුඩාබි හිදි
  • නෙදර්ලන්තයට එරෙහි තරගය – ඔක්තෝබර් 22 වැනිදා සාජා හිදි

සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගතහොත් ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය/ ඕමානය/ PNG සමඟ තරගය – ඔක්තෝබර් 24 වැනිදා සාජා හිදි
  • ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 28 වැනිදා සාජා හිදි
  • දකුණු අප්‍රිකාවට එරෙහි තරගය – ඔක්තෝබර් 30 වැනිදා සාජා හිදි
  • එංගලන්තයට එරෙහි තරගය – නොවැම්බර් 1 වනිදා – සාජා හිදි
  • බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගය – නොවැම්බර් 4 වැනිදා අබුඩාබි හිදි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<