T20 ලෝක කුසලානයේ ත්‍යාග මුදලට ලොකු ඩොලර් මල්ලක්

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

2804

2021 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසානයේ දී ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (10) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වන අතර අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් හිමි වනු ඇත.

සුපිරි 12 වටයෙන් අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් පූර්ව වටය සඳහා පැමිණ පරාජය වන කණ්ඩායම් දෙක සඳහා  ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 බැගින් වන මුදල් තෑගි පිරිනැමීම සඳහා ICC පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 16 වෙනුවෙන් ලබා දෙන ත්‍යාග මුදල් සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

තවද සුපිරි 12 වටය අවසානයේ දී ඉවත්ව යන කණ්ඩායම් 8 වෙනුවෙන් එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 70,000 බැගින් වන මූල්‍ය ත්‍යාග ලබා දෙන අතර එහි දී මේ කණ්ඩායම් 8 අතරේ ඇමරිකානු ඩොලර් 560,000ක මුදලක් බෙදී යනු ඇත.

පළමු වටය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර ඉන් සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ කණ්ඩායම් 4කට පමණයි. එහි දී ඉවත් වන එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 40,000 බැගින් කණ්ඩායම් 4ක් අතරේ ඇමරිකානු ඩොලර් 160,000ක මුදල් ප්‍රමාණයක් බෙදී යාමට නියමිතයි.

  • පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම් – බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව.
  • සුපිරි 12 වටය සඳහා සහභාගී වන කණ්ඩායම් – ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ පළමු වටයෙන් සුපිරි 12 වටය සඳහා තේරී පත්වන කණ්ඩායම් 4ක්.

ICC විසින් තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ සෑම තරගයක දී ම, සෑම ඉනිමක අඩක් අවසානයේ මිනිත්තු 2කුත් තත්පර 30 කෙටි විවේක කාලයක් ලබා දීමට තීරණය කර තිබෙන බවයි.

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<