වසීම් ශ්‍රී ලංකාව අවසන් සටනට රැගෙන යයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය 2021

820
Sri Lanka Vs Bangladesh

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අද (16) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ගෝල 2-1ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවැනි කණ්ඩායම තේරීම සඳහා ඉතා තීරණාත්මක වූ මෙම තරගයට පෙර ශ්‍රී ලංකාව එක් තරගයක් සමව අවසන් කර ගනිමින් සහ එක් තරගයක් පරාජයට පත්ව සිටි අතර බංග්ලාදේශය එක් තරගයක් ජය ගනිමින්, එක් තරගයක් සමව අවසන් කරමින් ප්‍රබල තත්වයක පසු වුනා.

බංග්ලාදේශයට පීඩනය එල්ල කරමින් අද තරගයේ පළමු ගෝලය රැස් කිරීමට ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩක වසීම් රාසීක් සමත් වුනා. ඒ 25 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ ගෝල රකින්නාගේ අතේ වැදී පැමිණි පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයට එල්ල කරමිනුයි.

ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙමින් 35 වැනි මිනිත්තුවේ දී ගෝලය තුළට පැමිණි පන්දුවක් වැළැක්වීමට යාමේ දී අතේ වැදීම නිසා පසුපෙළ ක්‍රීඩක Duckson Puslas හට රතු කාඩ් පතක් ලබා දෙමින් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම අවස්ථාවේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් හිමි වූ නමුත් එය සාර්ථක කර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩක Topu Barmanට නොහැකි වුනේ පන්දුව දකුණු ගෝල රාමුවට ඉහළින් එල්ල කිරීම නිසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු වූ පසුබිමක ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන කවිඳු ඉෂාන් සහ තරගාවලිය පුරාවටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ඩිලොන් ද සිල්වා හට ආබාධ නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

පළමු අර්ධයේ අමතර කාලයේ දී ගෝල ලබා ගැනීමට ඉතාමත් ආසන්න අවස්ථා ද්විත්වයක් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට හිමි වූ නමුත් එම අවස්ථාවන් වළක්වා ගනිමින් පළමු අර්ධයේ පෙරමුණ ශ්‍රී ලංකාවට දිනා දීමට සුජාන් පෙරේරාට සහ අසිකූර් රහමාන්ට හැකි වුනා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 1 – 0 බංග්ලාදේශය

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු අර්ධයේ දී ලබා ගත් ආධිපත්‍යට අභියෝග කිරීමේ අරමුණින් දෙවැනි අර්ධයට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙවැනි අර්ධය ආරම්භයේ සිටම පෙර අර්ධයට වඩා දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.

50 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෙකු එල්ල කළ පන්දුවක් ගෝල සීමාවට ඉතාමත් ආසන්නයේ දී වළක්වාලීමට අසිකූර් රහමාන්ට හැකි වුනේ තරගයේ පෙරමුණ තව දුරටත් ආරක්ෂා කරමිනුයි.

බංග්ලාදේශ ක්‍රීඩකයන් එල්ල කළ පහරවල් කිහිපයක්ම වළක්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වූවත් 70 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ලැබූ පන්දුවක් සුජාන් පෙරේරා පසුකරමින් ගෝලයට එල්ල කිරීමට Jewel Ranaට හැකි වුනා.

90 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළ දී සිදු කළ වරදක් නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර එය එල්ල කිරීමේ තීරණාත්මක අවස්ථාව හිමි වුනේ වසීම් රසීක් හටයි.

දැඩි පීඩනයක් යටතේ එම දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව ලබා ගත් වසීම් බංග්ලාදේශ ගෝල දකින්නා පසු කරමින් පන්දුව දැල තුලට එල්ල කිරීමට සමත් වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසන් මහා තරගයට රැගෙන ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ජය ඝෝෂා මධ්‍යයේයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 2 – 1 බංග්ලාදේශය

ගෝල රැස් කළ ක්‍රීඩකයන්;

  • බංග්ලාදේශය: Jewel Rana 70’
  • ශ්‍රී ලංකාව: වසීම් රාසීක් 25’ & 90’ (P)

අද (16) සවස පැවති මාලදිවයින සහ සීෂෙල්ස් අතර තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසාවෙන් සීෂෙල්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ කුසලානයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය සිකුරාදා (19) තරග බිමට පිවිසීමට නියමිතයි. අගමැති කුසලාන සිව්කොන් පාපන්දු කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<