FFSL සභාපති කුසලානය කොරෝනා රෙගුලාසි උල්ලංඝණය කරයි

456

මේ වන විට පැවැත්වෙමින් තිබෙන FFSL සභාපති කුසලාන පාපන්දු තරගාවලිය පවත්වාගෙන යාමේ දී COVID-19 වසංගත තත්වය පාලනය කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පනවා තිබූ රෙගුලාසි සහ මාර්ගෝපදේශ රැසක් උල්ලංඝණය කිරීම හේතුවෙන් භයානක තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වේ. 

මෙම මස (අගෝස්තු) 09 වන දින ආරම්භ වූ තරගාවලිය එළඹෙන 31 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර එහි පළමු වටයේ තරග සියල්ල පසුගිය 19 වන දින අවසන් විය. ඒ අනුව එහිදී පැවති තරගවලදී අවධාරණය වූයේ එහි සංවිධායකයින්, ක්‍රීඩා සමාජ, ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද COVID-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා පනවා තිබූ රෙගුලාසි සහ මාර්ගෝපදේශ පිළිපැදීම කෙරෙහි කිසිඳු තැකීමක් සිදු නොකළ බවයි.

තරගාවලිය පවත්වනු ලබන තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට මෙන්ම සුගතදාස ක්‍රීඩාංගණයට ද තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් සහභාගී වීම තහනම් බව තරගාවලිය ආරම්භයේ දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් නිවේදනය කර සිටියත්, මේ දක්වා එම ක්‍රීඩාංගණ දෙකේම තරග නැරඹීම සඳහා විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සහභාගී වනු දැකගත හැකි විය. එහිදී විශේෂයෙන් සෝන්ඩර්ස් කණ්ඩායම තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සහභාගී වූ තරගවලට සහ සෙරන්ඩිබ් කණ්ඩායම සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කරනු ලැබූ තරගවලට මේ ආකාරයට විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් සහභාගී විය. මෙහි පුදුම සහගත කරුණ වන්නේ තරග පැවැත්වෙන අතරතුර සුගතදාස ක්‍රීඩාංගණය වසා තිබූ තත්වයක් යටතේ වුව ද ක්‍රීඩා ලෝලීන් ඒ තුළට ඇතුල් වූයේ කෙසේද යන්නයි.

තවද එහිදී නිසි ශරීර උෂ්ණත්ව පරීක්‍ෂා සහ විෂබීජහරණය කිරීමේ ක්‍රම ද නියමාකාරයට ක්‍රියාත්මක නොවුනු අතර තරග නැරඹීම සඳහා සහභාගී වූ ප්‍රේක්‍ෂකයින් ද සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලැබුවේ ඔවුන් මුහුණු ආවරණ ද පැළඳ නොසිටි පසුබිමක් තුළයි. එමෙන්ම තවත් අවස්ථාවන් වලදී සමහර ක්‍රීඩකයින් ප්‍රේක්‍ෂකයින් සමඟ සැමරුම් සිදුකරන ආකාරය ද මෙහිදී දැකගත හැකි විය.

සුගතදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන් 

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ප්‍රකාශ කර සිටියේ;

“අපි මුලින් කිව්වා ප්‍රේක්‍ෂකයින් ක්‍රීඩාංගණ තුළට ඇතුල් කරගැනීම තහනම් කියලා. ඒත් සමහරු ආවා වගේම ක්‍රීඩා සමාජ ද ඒ පිළිබඳ ඉල්ලීම් සිදුකර සිටියා. ඒ වගේම අපි සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශ පිළිපදින්නේ නැහැ සහ මුහුණු ආවරණ පළඳින්නේ නැහැ වගේ පැමිණිලිත් එල්ල වුනා. ඊට අදාළ අවසන් වගකීම අපි භාරගන්නවා.” 

“තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ‘grandstand’ එකට පැමිණෙන්න අපි අමතර අවසර පත්‍ර 25ක් ලබා දෙනවා. නමුත් මුහුණු ආවරණ පළඳින්නේ නැති අයව ඇතුළත් කරගැනීමක් සිදුවන්නේ නැහැ. එහිදී ප්‍රේක්‍ෂකයින් 25ට වඩා ඉන්නවා නම් අපි ඔවුන්ව ‘open tiers’ වලට යවනවා. මොකද ප්‍රේක්‍ෂකයින් මුහුණු ආවරණ පළඳින්නේ නැතුව ඉන්න අවස්ථාවක සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඇවිත් පරීක්‍ෂා සිදුකිරීමක් කළොත් ඒකේ වගකීම දරන්න වෙන්නේ අපිට. ඔවුන් එතකොට තරග අවලංගු කරන්න පවා ඉඩ තියෙනවා.”

තවත් කියවන්න:

ThePapare.com අප විසින් මේ පිළිබඳව විමසූ විට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වෛද්‍ය සහ උත්තේජක මර්දන නියෝජිතයෙකු ලෙස කටයුතු කරනු ලබන මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට ද සම්බන්ධ වෛද්‍ය දමින්දා අත්තනායක පවසා සිටියේ;

“ක්‍රීඩාංගණයේ සම්පූර්ණ ධාරිතාවෙන් 20%ක් සහභාගී කරගන්න විතරයි අවසර තියෙන්නේ. ඔබ ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයකට හෝ කාර්යාලයකට යනකොට නිසි රෙගුලාසි සහ මාර්ගෝපදේශ පිළිපදින විදිහටම මෙහිදීත් සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යංශ වලින් පනවා තිබෙන මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය දෙයක්. ඒ අනුව දෑත් විෂබීජහරණය කිරීම, උෂ්ණත්ව පරීක්‍ෂා සහ මුහුණු ආවරණ පැළඳීම වැනි දේවල් සිදුකිරීම අනිවාර්ය යි.”  

“සහභාගී වන අය අසුන්ගත කිරීම සිදුකරන්න ඕනේ සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශ වලට අනුව. ඒ වගේම සහභාගී වෙච්ච ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ඒ එක එක්කෙනා වාඩි වෙලා හිටපු ස්ථානය ගැනත් වාර්තාවක් සංවිධායකයින් සතුව තියෙන්න ඕනේ. යම්කිසි ප්‍රේක්ෂකයෙක් වාඩි වෙලා හිටියේ කුමන පේළියේ කුමන අසුනේ ද, ඔහු ක්‍රීඩාංගණයට ඇතුල් වුනේ මොන ගේට්ටුවෙන් ද වගේ දේවල් ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ.”

COVID-19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය මාස 6-7ක කාලය තුළ මුළු ලෝකයම ගැටලුකාරී තත්වයන් වලට මුහුණදුන් අතර ලෝකයේ තවත් බොහොමයක් රටවල් තවමත් පීඩා විඳිමින් සිටියි. එවන් පසුබිමක් තුළ අපට මේ වන විට එදිනෙදා කටයුතු සිදුකර ගනිමින් කෙමෙන් කෙමෙන් ක්‍රීඩා කටයුතුවල ද නිරත වීමට ලැබී ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ඉතා වාසනාවන්ත මෙන්ම සතුටට පත්විය යුතුය. ඒ අනුව මෙම ලැබී ඇති අවස්ථාව අනිසි ලෙස භාවිතා නොකර අනාගතයේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්වයන් ද වළක්වා ගැනීමට හැකිවන ආකාරයෙන් කටයුතු කිරීම අප සැම සතු වගකීමක් බව අප විසින් වටහා ගත යුතුය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<