Defenders දෙවන වටයට; Sea Hawks සිහිනය සුන්

Vantage FFSL President's Cup 2020

159

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (18) පැවති තරගවලින් Red Stars, Super Sun, Serendib සහ Sea Hawks කණ්ඩායම් පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට Defenders, Saunders, Police සහ Ratnam ක්‍රීඩකයන් සමත් විය.

Defenders FC – Red Stars FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ 38 වැනි මිනිත්තුවේ දී Red Stars ක්‍රීඩක මොහොමඩ් නුශ්කි දඬුවම් රාමුවේ දී සිදු කළ වරදක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ මුල්ම ගෝලය ලබා ගැනීමට Defenders ක්‍රීඩක බර්නාඩ් සමත් විය.

දෙවැනි අර්ධයේ දී ගෝල ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථා කිහිපයක්ම මගහැරී යාම නිසාවෙන් තරගය Defenders ක්‍රීඩකයන්ට ජය ලබා දෙමින් අවසන් විය. එම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 7ක් ලබා ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණට පත්වීමට Defenders ක්‍රීඩකයන්ට හැකි විය.

අවසන් ලකුණු තත්වය:  Defenders FC 01 (00) – 00 (00) Red Stars FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Defenders FC: ජේසුරාජ් බර්නාඩ් 40’ 

Saunders SC – Super Sun SC

තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය ආරම්භයේ සිටම සිය ආධිපත්‍යට ගත් Saunders ක්‍රීඩකයන් ගෝල හයක් ලබා ගැනීමට සමත් වූ අතර එයට පිළිතුරු වශයෙන් Super Sun ක්‍රීඩකයින්ට එම අර්ධය තුළ දී කිසිදු ගෝලයක් රැස්කර ගැනීමට නොහැකි විය.

දැඩි පසුබෑමකට ලක්වූ පළමු අර්ධයෙන් පසුව පිටියට පිවිසි Super Sun ක්‍රීඩකයන් තරගයේ 50 වැනි මිනිත්තුවේ සිට තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝල පහක් රැස් කරගැනීමට සමත් වූවත්, එම අර්ධයේ දී තවත් ගෝල තුනක් රැස් කිරීමට Saunders ක්‍රීඩකයන් සමත් වීම නිසාවෙන් ගෝල 9-5ක් ලෙස තරගය ජය ගනිමින් තරගාවලියේ මුල්ම ජයග්‍රහණය ලබා ගැනීමට Saunders සමත් විය.

අවසන් ලකුණු තත්වය: Saunders SC 09 (06) – 05 (00) Super Sun SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Saunders SC: ඩිලාන් කෞෂල්‍යය 4’& 63’, මොහොමඩ් කුර්ශිඩ් 21’,40’ & 69’, සුන්දරාජ් නිරේෂ් 25’ & 73’, ක්‍රිශාන්ත අබේසේකර 30’, සනෝජ් සමීර 41’
  • Super Sun SC: මොහොමඩ් රිෆ්කාන් 50’, ප්‍රවනන් ශරුජාන් 70’, මොහොමඩ් සසාන් 84’,87’&90+2’

 තවත් කියවන්න: 

  • Java Lane සහ New Star ක්‍රීඩකයන් දෙවන වටයේ අසුන් වෙන්කර ගනියි
  • Blue Eagles සහ Colombo FC අපරාජිතයි
  • Red Stars දෙවැනි ජය ලබද්දී FA කුසලාන ශූරයන්ට තියුණු පරාජයක්

Police SC – Serendib FC

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේම ගෝල ලබා ගැනීමට තිබූ ඉතා පහසු අවස්ථා 2ක් දෙපිලේම ක්‍රීඩකයන්ට මගහැරී ගිය නමුත් 33 වැනි මිනිත්තුවේ දී ඉෂාන් ප්‍රබුද්ධ ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුවට එල්ල කරමින් තරගයේ මුල්ම ගෝලය ලබා ගැනීමට Police ක්‍රීඩක මොහොමඩ් රිෆ්කාන් සමත් විය.

සාර්ථක පළමු අර්ධයකින් පසුව 62 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් අලංකාරව ගෝල රාමුව වෙත එල්ල කරමින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Police ක්‍රීඩක චතුර ගුණරත්න සමත් වූ අතර තරගයේ 77 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමට ගෝලයක් රැස්කර දීමට Serendib ක්‍රීඩක මධුෂාන් සමත් වූ නමුත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: Police SC 02 (01) – 01 (00) Serendib FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Police SC: මොහොමඩ් රිෆ්කාන් 33’, චතුර ගුණරත්න 62’
  • Serendib FC: මධුෂාන් 77’

Sea Hawks FC – Ratnam SC

තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ 10 වැනි මිනිත්තුවේ දී තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට Sea Hawks ක්‍රීඩක මීරා සමත් වූ අතර එයට පිළිතුරු වශයෙන් 16 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් එපිට සිට පහරක් එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Ratnam නායක සසංක ඩිල්හාර සමත් විය.

තරගයේ 56 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Ratnam නායක සසංක ඩිල්හාර සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කිරීමට සමත් වූ අතර එම අර්ධයේම 59 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් යාර කිහිපයක් දුර සිට එල්ල කළ පහරක් මගින් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය රැස් කර දීමට Ratnam ක්‍රීඩක සසිඳු රෙජිනෝල් සමත්වූයේ Sea Hawks කණ්ඩායමේ දෙවැනි වටයේ බලාපොරොත්තුව මදකට දුරස් කරමිනි.

එම ගෝලයෙන් පසුව Ratnam කණ්ඩායමට තරමක අභියෝගයක් එල්ල කිරීමට Sea Hawks ක්‍රීඩකයන් සමත් වූවත් 86 වැනි මිනිත්තුවේ දී Ratnam ක්‍රීඩක කනේෂ් රාජ්කුමාර් දඬුවම් රාමුවේ සිට පන්දුව හිසින් ස්ථානගත කරමින් ලබා ගත් ගෝලයත් සමඟින් තරගාවලියෙන් ඉවත් වීමට Sea Hawks ක්‍රීඩකයන්ට සිදු විය.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 01 (01) – 04 (01) Ratnam SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Sea Hawks FC: මීරා 10’
  • Serendib FC: සසංක ඩිල්හාර 16’& 56’, සසින්දු රෙජිනෝල් 59’, කනේෂ් රාජ්කුමාර් 86’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<