වරාය අධිකාරිය – ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවය

514

ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම තරගාවලියට සහභාගී වීම සඳහා ඊයේ (25) වියට්නාමය බලා පිටත්ව ගියේය.  

පසුබිම

ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18 වන වරටයි. මෙම මස (ජුනි) 28 වන දින සිට ජුලි මස 06 වන දින දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර සත්කාරකත්වය ලබා දෙන්නේ වියට්නාමය යි.

පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේ දී ශූරතාවය දිනා ගැනීමට ඉරානයේ ටෙහෙරාන් නගරයේ ‘සර්මායේ බැංකු කණ්ඩායම’ සමත් වූ අතර මෙවර තරගාවලිය සඳහා ද ඔවුන් සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 13ක් සහභාගී වන අතර ඔවුන් කාණ්ඩ 04ක් යටතේ තරග වදිනු ඇත. ඒ අනුව මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම තරග වදින්නේ ‘A’ කාණ්ඩයෙනි. වරාය අධිකාරි කණ්ඩායම සමඟ ‘A’ කාණ්ඩයෙන් තරග වදින අනෙක් කණ්ඩායම් දෙක ඉරාකය සහ සත්කාරක වියට්නාමය නියෝජනය කරනු ලබයි.

විදුලිය හමුවේ නොසැලුණු වරාය අධිකාරියට ශූරතාවය

පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් අද (26) පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ,කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය. අවසන් තරඟ ද්විත්වයම පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ 2016 වසරේ පැවති මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරමිනි. ඒ අනුව ඔවුන් 2016 වසරේ දී එම ශූරතාවය දිනා ගත්තේ අඛණ්ඩව සිව්වැනි වසරටයි.

තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ ප්‍රබල ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම පරාජයට පත්විය. ඒ අනුව ඔවුන් එම අවසන් මහා තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ තරග වට 3-1ක් ලෙසයි. ලකුණු 20-25ක්, 25-17ක්, 25-21ක් සහ 25-19ක් වශයෙන් තරගයේ අවසාන ලකුණු තත්වය සටහන් විය.

කණ්ඩායමේ දක්ෂයින්

තරගාවලිය සඳහා වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකුගේ සංචිතයක් සහභාගී වෙයි. ඒ අතරට මේ වන විට ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් 05 දෙනෙක් ඇතුළත් වේ.

වරාය අධිකාරි කණ්ඩායමේ නායකත්වය දරන්නේ 2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ජනිත සුරත් ය. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වන රුමේෂ් දිසානායක, නිලංක සංජය, ෂෙහාන් විමුක්ති සාගර සහ ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය යන ක්‍රීඩකයින් ද වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සමීර දිසානායකගේ අත්දැකීම් ද වරාය අධිකාරි කණ්ඩායමට තරගාවලියේ දී අතිශය ප්‍රයෝජනවත් වනු ඇත.

2016 වසරේ පැවති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම පන්දු යොමු කරන්නා සහ 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම පන්දු යොමු කරන්නා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ජනිත සුරත් විසිනි.

ඊට අමතරව 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු අවහිර කරන්නා ලෙස රුමේෂ් දිසානායක, දක්‍ෂතම පන්දු සකසන්නා ලෙස නිලංක සංජය, දක්‍ෂතම පන්දු ග්‍රාහකයා ලෙස ෂෙහාන් විමුක්ති සාගර සහ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය සම්මානයෙන් පිදුම් ලැබීය.

පුහුණුව සහ පුහුණුකරුවන්

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දරන්නේ කාලික වසන්තප්‍රිය මහතායි. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වන ඔහු ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වේ. ඒ අනුව ක්ෂේත්‍රය තුළ ඔහු සතු අත්දැකීම් තරගාවලියට මුහුණ දීමේ දී වරාය අධිකාරි කණ්ඩායමේ ක්‍රීඩකයින් හට අතිශය වැදගත් වනු ඇත.

  • පුහුණුකරු – කාලික වසන්තප්‍රිය
  • සහය පුහුණුකරු – රවීන්ද්‍ර තිලකරත්න
  • ශාරීරික යෝග්‍යතා උපදේශක – ශෂී කුමාර
  • කළමනාකරු – එස්. ඩී. වීරසිංහ

තරගාවලිය සඳහා සිදු කළ පුහුණුවීම් පිළිබඳව විමසා සිටි විට කණ්ඩායමේ නායක ජනිත සුරත් ප්‍රකාශ කර සිටියේ,

“ඇත්තටම අපි තරගාවලිය සඳහා හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කළා. අපේ කණ්ඩායමේ ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් පස් දෙනෙක් සිටිනවා. ඒ නිසා තරගාවලිය ඉලක්ක කර ගනිමින් ජාතික සංචිතයේ පුහුණුවීම් අතරතුර වරාය අධිකාරි කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද සිදු කර ගෙන ගියා.”

එමෙන්ම ඒ පිළිබඳව අදහස් දැක්වූ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කාලික වසන්තප්‍රිය මහතා පවසා සිටියේ,

“මේ වන විට කණ්ඩායම හොඳ පුහුණුවකට ලක් කරන්න අපිට හැකි වෙලා තිබෙනවා. අපිට මෙම තරගාවලියට යන්න අවස්ථාව උදා වුනේ මීට මාස 3, 4 කට පමණ පෙර. එතැන් පටන් හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරලා මේ වන විට ක්‍රීඩකයින් හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමකින් පසුවෙනවා. ඒ අනුව ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයින් පස්දෙනා මෙන්ම අනෙක් ක්‍රීඩකයිනුත් මේ වන විට හොඳ පුහුණුවක් ලබලා තියෙන්නේ. ඒ නිසා තරගාවලියට සහභාගී වෙලා හොඳ තරගයක් ලබා දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ මට්ටමක මේ වන විට කණ්ඩායම සිටිනවා.”

තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය –

  • උස පන්දු ප්‍රහාරකයින් – ජනිත සුරත් (නායක), සමීර දිසානායක (උප නායක), චූලානන්ද අබේවර්ධන, උදය රුක්මාල්, මහේෂ් රංග, ලසිඳු මෙත්මාල්
  • කෙටි පන්දු ප්‍රහාරකයින් – රුවන් චාමර, ගයාන් ප්‍රනාන්දු, රුමේෂ් දිසානායක, දර්ශන කුමාර
  • ලිබරෝ ක්‍රීඩක – ෂෙහාන් විමුක්ති
  • පන්දු සකසන්නන් – නිලංක සංජය

ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම තරගාවලියේ සහභාගී වන පළමු තරගය මෙම මස (ජුනි) 29 වන දින ඉරාක කණ්ඩායමත් සමඟ පැවැත්වෙන අතර පළමු වටයේ ඔවුන් සහභාගී වන අවසන් තරගය 30 වන දින වියට්නාම කණ්ඩායමත් සමඟ පැවැත්වීමට නියමිතයි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට