අශාන් සහ එවෝන්ගෙන් විශිෂ්ට දස්කම්

193

ඊයේ (17) උඩවලවේ සෙවනගල ‘ක්‍රාෆ්ට්ස්මන් ඔටෝ ඩ්රෝම්’ හිදී අවසන් වූ වලව සුපර්ක්‍රොස් 2017 තරගාවලියේ දී, ශ්‍රී ලංකාවේ හොඳම ධාවකයාගේ ස්ථානය නැවතත් තමන් සතුකර ගන්නට අශාන් සිල්වා සමත් වූ අතර එවෝන් ගුරුසිංහ සිය වසරේ පළමු, සමස්ත හොඳම යතුරුපැදි ධාවකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

කාණ්ඩ 3ක ශූරතාවය සාන්ත පීතර ක්‍රීඩකයින්ට

තෙවැනි වරටත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය…

තෙත් හා වියළි කලාපය මායිමේ පිහිටා තිබෙන උඩවලව ප්‍රදේශයට වසරේ මෙම කාලය තුළ දී වැසි ඇදහැලෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. කෙසේ නමුත් ඊයේ දිනය ද එවන් වැසිබර කාලගුණයක් සහිත දිනයක් විය. ඊයේ දිනය සඳහා තරග ආරම්භයට ප්‍රථම වැසි ඇදහැලෙන පෙරනිමිති පහළ වී තිබූ අතර නිල පෙරට්ටුව අවසානයේ ධාරානිපාත වර්ෂාවක් ධාවන පථයට ඇදහැලෙන ලදි.

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන දූවිලි බහුලම ධාවන පථ අතරින් එකක් ලෙස සැලකෙන සෙවනගල ධාවන පථය වෙත වැසි ඇදහැලීම එතරම් ගැටලුවක් නොවුනත්, අධික වර්ෂාවක් ඇදහැලුණේ නම් එය තරග ඉසව්වල වේගයට බාධාවක් වන්නට මෙන්ම ධාවකයින් හට සිය සුපුරුදු රිද්මයට පැමිණෙන්නට ද බාධාවක් වන්නට ඉඩ තිබුණි.

දිනයේ පළමු ඉසව්ව වූ MX 250cc දක්වා යතුරුපැදි තරග ඉසව්වේ පළමු මොටෝ තරගයේ දී තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබාගත් ගයාන් සඳරුවන් සිය අත්දැකීම් හරහා එම ආරම්භයේ දී ලබාගත් පරතරය දිගටම පවත්වා ගෙන යමින් එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.

උණුසුම් තරගයකින් අනතුරුව එවෝන් ගුරුසිංහ දෙවැනි ස්ථානයත්, ජැක්ස් ගුණවර්ධන තෙවැනි ස්ථානයත් දිනා ගනිමින් තරග ඉසව්ව අවසන් කරන ලදි. එම ඉසව්වේම දෙවැනි මොටෝ තරගයේ දී එවෝන් ඉතා සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ජැක්ස් ගුණවර්ධන ඔහුට හොඳ තරගයක් ලබා දුන්නත් එම පරතරය වැඩිදියුණු කරගන්නට එවෝන් සමත් විය. එහි දී තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට ගයාන් සඳරුවන් අපොහොසත් වූ නමුත් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට එන්නට ඔහු සමත් වූ අතර එහි දී 6 වන වටයේ දී ගුණවර්ධනව පසුකර යමින් දෙවන ස්ථානය දිනා ගනිමින් එම ඉසව්ව අවසන් කරන්නට ගයාන් සමත් විය.

MX 250, Std/Mod සහ MX 125 ඉසව්වල දී ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් එවෝන් ගුරුසිංහ හොඳම යතුරුපැදි ධාවකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වේගවත්ම ධාවන තරගය ලෙස සැලකෙන දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් SL GT 3500cc දක්වා මෝටර් රථ ධාවන තරග ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී නැඟී එන ධාවකයෙක් වන කුෂාන් පීරිස්, අත්දැකීම් බහුල අශාන් සිල්වාගේ ඉදිරියෙන් රැඳෙමින් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

තරගයේ පළමු මොටෝ තරගයේ දී කුෂාන් සහ අශාන් කරට කර තරගයක නිරත වූ අතර මැයි මාසයේ දී ඌව-කුඩා ඔය ධාවන පථයේ දී බරපතළ අනතුරකට මුහුණ දී නැවතත් මෝටර් රථ ධාවන තරග පිටියට පිවිසුණු පසිඳු පීරිස් ද ඔවුන් දෙදෙනා හට හොඳ තරගයක් ලබා දුන්නේ ය. පළමු ස්ථානයේ රැඳී සිටි කුෂාන් පසුකර යමින් අශාන් සිල්වා එහි දී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර පසිඳු තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අනතුරින් පසු පසිඳු පීරිස් නැවතත් සූදානම්

පසුගිය දා ඌව-කුඩාඔය දී පැවති කොමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ SL GT සුපර් කාර් තරගය අතරතුර…

තරගයේ දෙවැනි මොටෝ තරගයේ දී අශාන් පසුකර යන්නට දැඩි උත්සාහයක් දැරූ කුෂාන් එක් අවස්ථාවක දී අශාන්ව අභිබවා යන්නට උත්සාහ කළ අතර එහි දී මෝටර් රථයේ සමබරතාවය ඔහු අතින් ගිලිහී එය ධාවන පථයෙන් ඉවතට ඇඳී යන ලදි.

අනතුරුව පසිඳු, අශාන්ව අභිබවමින් පළමු ස්ථානය දිනා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත්, තරගය අවසානයේ ඔහුට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර ඉෂ්රක් වහාබ් තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ‘ධාවන පථයේ කුමරා’ ලෙස අශාන් ඔහුගේ දක්‍ෂතා වෙනුවෙන් කිරුළු පැළදුණු අතර මෙම වසර තුළ තවත් ධාවන තරග 02ක් ඉතිරිව තිබුණත් ඔහු 2017 වසර සඳහා ශ්‍රී ලංකා ජාතික ශූරයා ලෙස සම්මානයෙන් පිදුම් ලබන බව නොඅනුමානය.  

තරග ඉසව් නැරඹීම සඳහා අසල්වාසී ජනතාව ඇතුළු විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් එක්ව තිබූ අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම මෝටර් රථ ධාවන ඉසව්ව වන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා එක්වන ප්‍රේක්ෂක සංඛ්‍යාව හා බොහෝ දුරට සමාන බව සඳහන් කළ හැක.

තරගාවලිය සංවිධානය කරනු ලැබූ විදුලි හා කාර්මික ඉංජිනේරු රෙජිමේන්තුව ප්‍රේක්ෂකයින් සඳහා දිනුම් ඇදීමක් සංවිධානය කර ඔවුන්ට විවිධ ත්‍යාග බෙදා දීමට කටයුතු කළ අතර එහි පළමු ත්‍යාගය ලෙස නව යතුරුපැදියක් ප්‍රදානය කරන ලදි.

මේ ආකාරයට වලව සුපර්ක්‍රොස් තරගාවලිය අවසන් වීමත් සමඟ මෙම වසර සඳහා තවත් මෝටර් රථ ධාවන ඉසව් 2ක් ඉතිරිව ඇති අතර ඒ අනුව සීගිරිය රැලීක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් මස 01 වන දිනත්, ‘Katukurunda Tarmac Challenge’ තරගාවලිය නොවැම්බර් මාසයේත් පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලිවල ප්‍රතිඵලය ද සැලකිල්ලට ගෙන විවිධ තරග ඉසව්වල 2017 වසර සඳහා වන ජාතික ශූරයින් තේරී පත්වනු ඇත.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<