පාකිස්තානයෙන් ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට්වලට යෝජනාවක්

1503
PCB to form consortium with SLC and BCB

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල හා එක්ව ලෝක කුසලාන දෙකක් සඳහා සත්කාරකත්වය දැක්වීමට සිය කැමැත්ත පළ කර සිටිනවා. 

එමෙන්ම ඔවුන් තවදුරටත් පවසා තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අදියර සඳහා එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ එක්වීමටත් තමන් බලාපොරොත්තු වන බවයි. 

Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබුණේ පසුගිය සෙනසුරාදා (9) ඔවුන් ICC තරගාවලි හයකට සිය ලංසු ඉදිරිපත් කළ බවයි. ඉන් ලංසු දෙකකට ඔවුන් යෝජනා කර තිබෙන්නේ තවත් දකුණු ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩල සමඟ සහයෝගයෙන් තරගාවලි පවත්වන බවටයි.

“අපි ICCට අපේ ලංසු ඉදිරිපත් කළා. අපි යෝජනා කළා බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල අතර එකමුතුවක් පිහිටුවන්න” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රධානියා Ehsan Mani පවසා තිබුණා. “ඒ වගේම අපිට එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමඟ එකතු වෙලා සම සත්කාරකත්වය ගන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා”.

Cricbuzz වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය 2027 හා 2031 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාව හා බංගලාදේශ සමඟ සම සත්කාරකත්වය දරන්නට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි අදියර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟත් සම සත්කාරකත්වය දරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. පාකිස්තානය 2025 හා 2029 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා ද ලංසු තබා තිබීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

2025 ශූරයින්ගේ කුසලානය, 2028 විස්සයි විස්ස ලෝක කුසලානය හා 2031 ලෝක කුසලානයට ඉන්දියාව ද ලංසු තබා තිබීම විශේෂත්වයක්.

වසර 25කින් පාකිස්තානය සිය මව්බිමේ දී ජාත්‍යන්තර ICC තරගාවලියක් පවත්වා නැහැ. අවසන් වරට පාකිස්තානයේ පැවැත්වුණු ICC තරගාවලිය 1996 ක්‍රිකට් ලෝක කුසලානයයි. එම තරගාවලියට ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම සත්කාරකත්වය දක්වා තිබෙනවා. 

එම සංධානය එවකට හඳුන්වා තිබුණේ PILCOM (පාකිස්තාන ඉන්දියා, ශ්‍රී ලංකා කමිටුව) යනුවෙනුයි. 2011 ලෝක කුසලානය සඳහාත් ඉන්දියානු, ශ්‍රී ලංකා, බංගලාදේශය ඇතුළත් වුණු දකුණු ආසියානු සන්ධානයට පාකිස්තානය මුලින් සම්බන්ධ වුනා. කෙසේ වෙතත් ආරක්ෂක හේතු මත ඔවුන් සත්කාරකත්වය දැරීමෙන් ඉවත් වුනා.

ICC තහවුරු කර තිබුණේ 2024 සිට 2031 දක්වා ICC තරගාවලි පැවැත්වීමට ක්‍රිකට් පාලක මණ්ඩල 17ක් ලංසු ඉදිරිපත් කර ඇති බවයි. ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, මලයාසියාව, නැමීබියාව, නවසීලන්තය, ඕමානය, පාකිස්තානය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් අරාබි එමීර්, එක්සත් ජනපදය හා සිම්බාබ්වේ එම ක්‍රිකට් පාලක මණ්ඩලයන් වනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<