Paul Farbrace ලංකාව ප්‍රතික්ෂේප කරයි

16890
Skysports

Paul Farbrace ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කර ඇති බව The Cricketer වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.

Edgbaston හි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන Paul Farbrace හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුනා.

Paul Farbrace 2014 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු හැර ගිය ස්ථානයට නැවත පැමිණීමට ගිවිසුමක් පසුගියදා ඉදිරිපත්ව තිබුනා.

Ashley Giles 2019 වසරේ දී Warwickshire වෙතින් ඉවත්ව එංගලන්ත ක්‍රිකට් ආයතනයට යාමෙන් අනතුරුව Paul Farbrace, Warwickshire ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්වුනා. ඔහු දැනටමත් West Midlands හි සාර්ථක ලෙස කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ දී එම ප්‍රාන්තය වසර නවයකට පසු ප්‍රථම වරට ප්‍රාන්ත ශූරතාව දිනාගත් අතර ඉන් අනතුරුව ලෝඩ්ස්හි දී Lancashire කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කරමින් Bob Willis කුසලානයට හිමිකම් කීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Paul Farbrace හිමි කරගෙන ගෙන ඇති එම සාර්ථකත්වය ඔහු එංගලන්තයේ රැඳී සිටීමට ගෙන ඇති තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. Paul Farbrace පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ තීරණය Warwickshire කළමනාකාරීත්වය වෙත දැනුම් දී තිබෙනවා.

ඔහු ඉදිරියේ දී පුහුණුකරුවෙකු ලෙස නැවත එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර මේ දිනවල ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ සිය කණ්ඩායමේ ශූරතාව ආරක්ෂා කර ගැනීම බව ඔහු පවසා තිබෙනවා.

Farbrace මීට වසර අටකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු මෙරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා එක්වූ අතර එහි කටයුතු කළේ මාස තුනක් පමණයි. ඉන් අනතුරුව ඔහු Trevor Bayliss යටතේ එංගලන්තයේ සහය පුහුණුකරු ලෙස එක්වූ අතර පසුව Peter Moores සමඟින් සහය පුහුණුකරු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික Mickey Arthur සිය නිල කාලය අවසන් කර නැවතත් Derbyshire කණ්ඩායම සමඟින් එක්ව තිබුනා. ඒ පසුගිය වසර අවසානයේ දීයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරුවෙකු එක් කරගැනීම සඳහා කිහිපදෙනෙකු සමඟින් සාකච්ඡා කර තිබුනා.

මීට දින කිහිපයකට පෙර මෙරට මාධ්‍ය වාර්තා කර සිටියේ Paul Farbrace ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි. Farbrace මුලින් එම තනතුර සඳහා ඉල්ලුම් කර නොතිබූ නමුත් නව ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමට පැවරී ඇති කමිටුව විසින් ඔහුව සම්බන්ධ කර ගෙන තිබුනා.

TheCricketer ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<