ශ්‍රී ලංකාවට 5 වෙනි ස්ථානය

279

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගයේ දී මැලේසියානු කණ්ඩායම ලකුණු 41-07ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වෙනි ස්ථානය දිනා ගනිමින් දෙවැනි අදියර අවසන් කරන්නට සමත් විය.

ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ 3 වෙනි ස්ථානය

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ චීන තායිපේ කණ්ඩායම සමඟ පැවති තරගය..

මැලේසියානු කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරනු ලැබීය. එහි දී ධනුෂ්ක රංජන් ලබා දුන් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය සුදම් සූරියආරච්චි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය.

මිනිත්තු කිහිපයකින් අනතුරුව ධනුෂ් දයාන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නා ලදි. එහි දී මැලේසියානු කණ්ඩායම සතුව පන්දුව පැවතියත් පන්දුව හුවමාරු කර ගැනීමේ දී ඔවුන් අතින් සිදු වූ දෝෂයකින් ප්‍රයෝජන ලබා ගත් ධනුෂ් උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශය හමුවේ මැලේසියානු කණ්ඩායම වෙහෙසට පත්වූ ස්වරූපයක් දිස්වූ අතර මිනිත්තු කිහිපයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ 3 වන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට ධනුෂ්ක රංජන් සමත් විය. එය ඔහු දෙවැනි අදියරේ දී වාර්තා කර ගත් 7 වන උත්සාහක දිනුමයි. තරගයේ පළමු අර්ධය නිමාවන්නට ආසන්නයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් ලැබුණු හිඩැසකින් ප්‍රයෝජන ලබාගත් මැලේසියානු කණ්ඩායමේ සෙරුපෙපේලි නකසිමා විසින් සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 19 – 07 මැලේසියාව

තරගයේ දෙවැනි අර්ධයේ දී ද සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දියත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

තරගයට ආදේශ කරන ලද ජේසන් දිසානායක විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 4 වන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරුව තිබුණත් ඔවුන් තවදුරටත් ලකුණු ලබා ගැනීමේ උත්සාහයක නිරත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 5 වන උත්සාහක දිනුම ද වාර්තා කරගනු ලැබුවේ දෙවන අර්ධයේ දී තරගයට ආදේශ කරනු ලැබූ හිරන්ත පෙරේරා විසිනි. එහි දී මැලේසියානු ක්‍රීඩකයෙක් හට කහ කාඩ්පතක් නිකුත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් සංඛ්‍යාවේ වාසිය හිමි වූ අතර ඉන් ප්‍රයෝජන ලබාගත් හිරන්ත උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී හිරන්ත විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවැනි අදියර හොඳින් අවසන් කරන්නට සමත් වූ නමුත් මෙවර ද පළමු ස්ථාන 4 අතරට පැමිණීමට නොහැකි වීම පිළිබඳව ඔවුන් කණගාටුවට පත්වනු ඇත.

තරගාවලියේ තුන්වන සහ අවසන් අදියර තවත් සති 3කින් කොළඹ දී පැවැත්වීමට නියමිත ය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 41 – 07 මැලේසියාව 


ශ්‍රී ලංකාව පළඟ අවසන් තරගයට

අද (24) උදෑසන පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම, හොං කොං කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ඔවුන් පිලිපීන වොල්කැනෝස් කණ්ඩායම ලකුණු 42-00 ක් වශයෙන් පරාජයට පත්කරමින් පළඟ ශූරතාවය සඳහා වන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට නවීන් හේනකන්කානම්ගේ සමත් විය. එහි දී ජේසන් දිසානායක ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව රැගෙන යමින් එය නවීන් හට බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත ගෙන යන ලදි.

මිනිත්තු කිහිපයකින් අනතුරුව ජේසන් දිසානායක විසින් කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නා ලදි. එහි දී සුදම් සූරියආරච්චි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් අභිබවා යමින් ජේසන් හට පන්දුව බාර කිරීම හරහා එම උත්සාහක දිනුම වාර්තා විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 00 පිලිපීනය

තරගයේ දෙවන අර්ධයේ දී ද පළමු අර්ධයේ දී මෙන් සිය අණසක පතුරුවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. එහි දී ධනුෂ් දයාන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා පිලිපීන ක්‍රීඩකයින් හට තරගය පුරාවට ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට සිදු වූ අතර ඒ අනුව ඔවුන්ට උත්සාහක දිනුමක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත.

තවත් මිනිත්තු කිහිපයකින් අනතුරුව තරින්ද රත්වත්තේ විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එය ඔහු තරගාවලියේ දෙවැනි අදියරේ දී වාර්තා කර ගත් 5 වන උත්සාහක දිනුම විය.

පසුව ජේසන් දිසානායක විසින් ඔහු සතු වේගය මැනෙවින් විදහා දක්වමින් තරගය තුළ ඔහුගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී රත්වත්තේ බාර කළ පන්දුව ඉතා වේගයෙන් සාර්ථකව ජේසන් විසින් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන ලදි.

තරගය අවසන් වන්නට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී ධනුෂ්ක රංජන් විසින් දෙවන අදියරේ දී ලබාගත් සිය 4 වන උත්සාහක දිනුම ලෙස තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 42-00ක පහසු ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 42 – 00 පිලිපීනය


අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ හොං කොං කණ්ඩායමට පහසු ජයක්

තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට හොං කොං කණ්ඩායම සමත් විය. එහි දී එම උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ටෝබි ෆෙන් විසිනි. මිනිත්තු කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ආරක්‍ෂක ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ගත් ජැක් නෙවිල් හොං කොං කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගන්නට සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට ආසන්නයේ දී නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට මුතුතන්ත්‍රි සමත් විය. එහි දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසු කර පන්දුව රැගෙන යමින් ධනුෂ්ක රංජන් විසින් මුතුතන්ත්‍රි හට බාර කළ පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට ඔහු සමත් විය.

එමෙන්ම එහි දී හොං කොං කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පසු කර යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර තිබූ සුසංයෝගය බෙහෙවින් ඉවහල් විය. කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය නිමා වන්නට පෙර තවත් උත්සාහක දිනුමක් හොං කොං කණ්ඩායම වෙනුවෙන් වාර්තා කර ගන්නට සෙබස්තියන් බ්‍රයන් සමත් විය.

පළමු අර්ධය: හොං කොං 17 – 07 ශ්‍රී ලංකාව

තරගයේ දෙවැනි අර්ධයේ දී ද සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව මෙහෙය වන්නට හොං කොං ක්‍රීඩකයින් සමත් විය. එහි දී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගන්නට නෙවිල් සමත් විය. ඒ අනුව එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් දෙක ද සාර්ථක කර ගත් හොං කොං ක්‍රීඩකයින් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එක්කර ගැනීමට සමත් විය. අනතුරුව ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තත් එය හොං කොං කණ්ඩායමෙන් ඔවුන්ගේ ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත.

සම්පූර්ණ කාලය: හොං කොං 31 – 14 ශ්‍රී ලංකාව

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට