ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක්!

135

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (29) පැවති සිව්වැනි එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක් හිමි වූ අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-0ක් ලෙස මේ වන විට ජය ගෙන සිටින්නේ ද ඕස්ට්‍රේලියාවයි.

කැන්ගරුවන්ට තවත් තරගාවලි ජයක්

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත……

කණ්ඩායම් දෙකම මෙවර තරගය සඳහා වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබුණි. මෙම තරගාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ෂොයිබ් මලික් ආබාධයකට ලක් වීම හේතුවෙන් සිව්වැනි තරගයේ නායකත්ව වගකීම ඉමාඩ් වසීම් හට පැවරිණි. එමෙන්ම ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ද හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මෙම තරගයට නම් කර නොතිබිණි. ඒ වෙනුවට අබීඩ් අලි හා සාඩ් අලි පාකිස්තානය වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගත්හ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වෙනුවෙන් තෙවන තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ පැට් කමින්ස් මෙම තරගය සඳහා විවේක ගන්වා ඒ වෙනුවට නේතන් කෝල්ටර්නයිල් කැඳවා තිබූ අතර ආබාධයකට ලක් වූ ජේසන් බේරන්ඩෝෆ්ගේ ස්ථානය කේන් රිචඩ්සන් හට හිමි විය.

කාසියේ වාසිය හිමි කර ගත් පාකිස්තානු නායක ඉමාඩ් වසීම් පළමුව පන්දු රැකීම තෝරාගත් නමුත් අපේක්ෂා කළ සාර්ථක ආරම්භය ලබා ගැනීමට පාකිස්තානු ආරම්භක පන්දු යවන්නන් සමත් වූයේ නැත. ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ලකුණු 56 දී බිඳ වැටුණේ මොහොමඩ් හස්නෙන් තම පළමු එක්දින ජාත්‍යන්තර කඩුල්ල ලෙස තරගාවලිය පුරා ලකුණු අතර සිටි ඒරන් ෆින්ච් දවා ගනිමිනි.

ඉන්පසු ක්‍රියාත්මක වූ නායක ඉමාඩ් වසීම් හා යසීර් ෂා ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු පළමු කඩුලු 4 ලකුණු 100ක් තුළ දවා ගනිමිනි. එක් අන්තයක හුදකලා වූ උස්මාන් කවාජා පන්දු 78ක් තුළ ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර 6ක් සමඟිනි. නැවතත් ක්‍රියාත්මක වූ යසීර් ෂා, අවශ්‍යව තිබූ කවාජාගේ කඩුල්ල දවා ගත්තේ තරඟයේ පාලනය පාකිස්තානු පිළ සතු කර ගනිමිනි. ඒ වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 140ට කඩුලු 5ක් ලෙස සටහන්ව තිබුණි.

නමුත් ඉන් අනතුරුව පිටියට එක් වූ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි, ග්ලේන් මැක්ස්වෙල් වෙත අනගි සහයක් ලබා දෙමින් බිඳ වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම තර්ජනාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 82ක් තුළ ලකුණු 98ක් වාර්තා කළේ හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමඟිනි. ශාන් මසූඩ්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඔහු දුවද්දී දැවී ගියේ සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයට ලකුණු දෙකක් ඉතිරිව තිබිය දී ය.

ගුවන්, පොලිස්, නැවියන් සහ පානදුර සමසේ සතුටු වෙති

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ…….

ඉනිමේ අවසන් පන්දුවේ දී ඇලේක්ස් කේරි ලකුණු 55කට දැවී යන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 277ක් ලේස සටහන්ව තිබුණි. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් හස්නෙන්, ඉමාඩ් වසීම් හා යසීර් ෂා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්තානු පිළේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දීම බිඳ වැටුණේ, ශාන් මසූඩ් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට නේතන් කෝල්ටර්නයිල් සමත් වීමත් සමඟිනි. දෙවන කඩුල්ල වෙනුවෙන් අබීඩ් අලි හා හරීස් සොහේල් අතරේ ලකුණු 74ක සබඳතාවක් ගොඩ නැඟුණු අතර එය බිඳ දැමීමට නේතන් ලයන් සමත් වූයේ හරීස් සොහේල් ලකුණු 25කට දවා ගනිමිනි.

ඉන්පසු අබීඩ් අලි සමඟින් පිටියේ එක් වූ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්, සැලැස්මකට අනුව  පිතිකරණයේ යෙදෙමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන යන්නට විය.

සිය මංගල තරගයේ දී ම පළමු එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූ අබීඩ් අලි, පන්දු 119ක් තුළ ලකුණු 112ක් රැස් කළේ හතරේ පහර 9ක් සමඟිනි. ඔහුගේ ඉනිම පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩකයෙකු තම මංගල තරගයේ දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් විය.

විටෙක පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 41ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා සිටියේ ජයග්‍රහණය පෙනෙන මානයේ ය. මෙවර ක්‍රියාත්මක වූ ඇඩම් සැම්පා ලකුණු 112ක් ලබා සිටි අබීඩ් අලි දවා ගත්තේ තෙවන කඩුල්ල වෙනුවෙන් පැවති ලකුණු 144ක සම්බන්ධතාව බිඳ දමමිනි.

ඉන්පසු පිටියට පිවිසි එකදු පිතිකරුවෙකුට හෝ සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. මොහොමඩ් රිස්වාන් හුදකලා සටනක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙය වුව ද අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටීම ඔහුගේ උත්සහයට හරස් විය.

රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ……

අවසාන පන්දුවාර 3 තුළ දී පාකිස්තානු කණ්ඩායමට කඩුලු 6ක් අතැතිව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 25ක් පමණි. එහෙත් කෝල්ටර්නයිල්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම හමුවේ එක් කඩුල්ලක් ද බිඳ වැටී පාකිස්තානුවන්ට එම පන්දුවාරයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.

49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කේන් රිචඩ්සන් එය ලකුණු 5කට සීමා කළේ අවසාන පන්දු වාරයේ දී ලකුණු 17ක ඉලක්කයක් ඔවුන්ට ලබා දෙමිනි.

අවසාන පන්දු වාරය ක්‍රියාත්මක කළ මාක්ස් ස්ටොයිනිස් දෙවන පන්දුවේ දී ලකුණු 107ක් ලබා සිටි මොහොමොඩ් රිස්වාන් දවා ගත්තේ පාකිස්තානයේ අවසන් ජයග්‍රාහී බලාපොරොත්තුව ද බිඳ දමමිනි.

නියමිත පන්දුවාර 50 අවසානයේ දී පාකිස්තානයට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 271ක් පමණි. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක් හිමි විය.

තරගයේ වීරයා – ග්ලේන් මැක්ස්වෙල්

ඕස්ට්‍රේලියානු ඉනිම – 277/7 (50) ග්ලේන් මැක්ස්වෙල් 98 (82), උස්මාන්  කවාජා 62 (78), ඇලෙක්ස් කේරි 55 (67), මොහොමඩ් හස්නෙන් 2/52, ඉමාඩ් වසීම් 2/56, යසීර් ෂා 2/57

පාකිස්තානු ඉනිම – 271/8: අබීඩ් අලි 112 (119), මොහොමඩ් රිස්වාන් 104 (102), නේතන් කෝල්ටර්නයිල් 3/53, මාකස් ස්ටොයිනිස් 2/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<