ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වූනේ පාකිස්තානය 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි.
ඒ අනුව පාකිස්තානු කණ්ඩායමක් වසර 4කට (1-0) පසුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත් අතර, පාකිස්තානය ශ්‍රී ලංකාව තුල දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත්තේ 2015 වසරට (2-1) පසුවයි.
තවද ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සමස්ත ටෙස්ට් තරගාවලියකම පාකිස්තානය ජයගෙන තිබුණේ 1994 දී පමණක් වන අතර ඉන් අනතුරුව සමස්ත ටෙස්ට් තරගාවලියම පකිස්තානය ජය ගත් පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතරට එකතු වුනා.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබාගෙන සිටි අතර අද දිනය තුල දී ක්‍රියාත්මක වුනු පන්දුවාර දෙක තුල කිසිවෙක් නොදැවී ඔවුන් ලකුණු 13ක් ලබා ගත්තා.
අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 576ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 410ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්. Agha Salman ලකුණු 132*යි. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු පාකිස්තානු පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තා.
- ප්‍රභාත්ගෙන් කඩුලු 50ක්; පාකිස්තානය ලකුණු 83ක් පසුපසින්
- Shakeel ලෝක වාර්තාවකට; Shafiqueගෙන් ද්විත්ව ශතකයක්
- බිඳ වැටුණු ඉනිමට මැතිව්ස් සහ ධනංජයගෙන් ශතක සබඳතාවයක්
- ප්‍රබලයින් පසුපසට යද්දී නවකයින්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක්
- පාකිස්තානු මුල්පෙළ අභිබවා පසුපෙළ පිතිකරුවන් පෙරමුණට
6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Mohammad Rizwan සහ Agha Salman නොදැවී ලකුණු 108*ක සබඳතාවයක් ගොඩනැංවූ අතර Rizwan සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. එය ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් හොඳම ටෙස්ට් ඉනිමයි. Sarfaraz Ahmedගේ concussion sub ක්‍රීඩකයා ලෙස Rizwan ඊයේ සවස තරගයට අවතීර්ණ වුනා.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 410ක ඉලක්කයක් හඹා යාමේ ඉලක්කය අතැතිව පිටියට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වුනු දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක අගනා සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ආරම්භක සැසිය තුල දැවී ගිය එකම කඩුල්ල වුනු මදුෂ්ක (ලකුණු 33) සිය පළමු පන්දුවෙන්ම දවා ගන්නට Noman Ali සමත් වුනා.
ඉන් අනතුරුව ලකුණු 62ක් තුල ශ්‍රී ලංකා කඩුලු 5ක් (දිමුත්, කුසල්, චන්දිමාල්, ධනංජය සහ සධීර) දවා ගන්නට වමතින් දඟපන්දු යවන Noman Ali සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු සටහන 141/6ක් ලෙස සටහන් කරමින්.
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 63*ක් ලබාගෙන එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ නමුත්, අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් ලැබුණේ නැහැ. අවසානයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 188කට සීමා වුනේ ශ්‍රී ලංකා අවසන් කඩුලු 9 ලකුණු 119ක් තුල දවාගෙනයි.
පන්දු යැවීමේ දී Noman Ali කඩුලු 7ක් ලකුණු 70කට දවා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමින්. එසේම පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවා ගත් තෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එකතු වුනා.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන මේ තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වූ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගත් පාකිස්තානය මේ දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජයගෙන 2-0ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 24ක් ද එක් කරගෙනයි.
තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<