සනත්ගෙන් අගනා අර්ධ ශතකයක්

6675
Getty Images

ශ්‍රී ලංකාව කියන්නේ සනත් ජයසූරියගේ රටය. පිටරටවල ඇත්තෝ ඒ දවස්වල අපේ රට ගැන කතා කළේ එහෙමය. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ක්‍රිකට් නම් සුන්දර ඇම්ම බෝ කළ විජ්ජාකරුවා ඔහුය. එතෙක් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරුණා වූ ආකාරය සහමුලින්ම උඩුයටිකුරු කළ මාතර කසකරුවා තම ජීවන ගමනේ සුවිශේෂී අර්ධ ශතකයක් අභිසය සිට අප හා පිළිසඳරක යෙදුණේ මේ ආකාරයෙන්ය.

Getty Images

“ක්‍රිකට් ගැන මට මුලින්ම කැමැත්තක් ඇති වෙද්දී මට වයස අවුරුදු පහක් හෝ හයක් විතර ඇති. මුලින්ම මං සෙල්ලම් කළේ මගේ අයියා එක්ක. ඊට පස්සෙ අසල්වැසි ගෙවල්වල ඉන්න ඔක්කොම එකතු කරගෙන ක්‍රිකට් ගහනවා. දෙයක් කියන්න ඕන මට තමයි මේ වැඩේට ලොකුම උනන්දුවක් තිබුණේ. සෙල්ලමට කට්ටියව එකතු කරගන්න එකේ ඉඳල හැම අවස්ථාවක දී ම ඉස්සරහින් හිටියේ මම. ක්‍රිකට් ගහන්නේ පාරේ ද නැත්නම් ගෙදර ඉස්සරහා මුහුදු වෙරළෙ ද කියල වෙනසක් තිබුණේ නැහැ. හැබැයි කවදාවත් මේ තරම් දුරකට ජාත්‍යන්තර ක්‍රිකට් ගහන්න ලැබෙයි කියල නම් මට ඒ දවස්වල හිතුණේ නැහැ.

ඒ දවස්වල දැන් වගේ අපිට ජාත්‍යන්තර ක්‍රිකට් රූපවාහිනියෙන් බලන්න ලැබෙන්නේ නැහැ. හැබැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ගහපු ක්‍රිකට් ගැන නිතරම අපිට අහන්න ලැබුණා. මාත් කැමති වුනේ ඒ වගේ ආක්‍රමණශීලී ක්‍රිකට් ගහන්න. මට ඕන වුනේ ක්‍රිකට්වල හැමදේටම සම්බන්ධ වෙන්න. බෝලේ යන තැන ඉන්න. බෝල් කරන්න, බැට් කරන්න. ඒ තරම් මම ක්‍රිකට්වලට ආදරය කළා.

ඒ කාලේ ස්පෝට්ස් ස්‍ටාර් කියන සඟරාවෙන් තමයි අපි ලෝකයේ ක්‍රිකට් යන විදිය දැනගන්නේ. කොහොම හරි ඔය සඟරාව හොයාගෙන කියවනවා” 

තමන්ගේ මූලාරම්භය ගැන මතකය ආවර්ජනය කරන සනත්ගේ දෑස් යම් දීප්තියකින් බබළනු අපට පෙනේ. 

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ සෑම ක්‍රීඩකයෙකු පාහේම ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වුනේ අප සතුව තිබෙන ශක්තිමත් පාසල් ක්‍රිකට් ව්‍යූහය නිසාවෙනි. සනත්ගේ කතාව ද ඊට වෙනස් නැත. 

“ඒ කාලේ මාතර සාන්ත සර්වේසස් විදුහලේ වයස එකොළහෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමක් පටන්ගත්තු කාලේ. කැමති අයට එන්න කියල දැන්වීමක් ‍යවලා තිබුණා.

ක්‍රිකට් සෙල්ලම් කරන්න කොයි තරම් ආස වුනත් මට තෝරාගැනීම්වලට යන්න හැකියාවක් තිබුණේ නැහැ. ක්‍රිකට් සපත්තු ඇතුළු අනෙක් ආම්පන්නවලට තරමක මුදලක් වැය වෙනවා. ගෙදරින් ඒ නිසා වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. 

ඉතින් මම ගිහින් තෝරගත්තු කට්ටිය සෙල්ලම් කරනවා බලාගෙන ඉන්නවා. දවසක් මම එහෙම බලාගෙන ඉන්නවා ගලප්පත්ති නම් අපේ විදුහල්පතිතුමා දැක්කා. දැකල මගේ විස්තර අහල එතුමාම මාව එක්කගෙන ගිහින් ලයනල් වගසිංහ කියන පුහුණුකාරතුමාට මාව බාරදුන්නා. 

අපේ ගලප්පත්ති විදුහල්පතිතුමා නැත්නම් ඇත්තටම අපේ පාසලේ ක්‍රිකට් නැහැ. සමහර විට මං වගේ කෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් නොගහන්නත් තිබුණා. එතුමා තමයි හැමදේම ලබා දුන්නේ.

විදුහල්පතිතුමාගේ බලපෑම තිබුණ නිසා ගෙදරින් ආපු යම් යම් විරෝධතා එහෙමම යටපත් වුනා.”

ක්‍රිකට් පුහුණුවීම් සඳහා ගිය මුල්ම දවසේම පුහුණුකරුවාගේ හිත දිනා ගැනීමට කුඩා සනත්ට හැකියාව ලැබෙන්නේය.

“සනත්ට දාන දාන හැම බෝලෙටම පාරක් තිබුණා. ඒ වගේම එයාට පිටිය වටේටම පහරවල් තිබුණා. මමයි මගේ සහය පුහුණුකරු ඊශ්වරයි දෙන්නම පුදුම වුනා මේ දරුවගේ හැකියාව දැකල. ඔය විදියට තමයි මම මුලින්ම සනත්ව දැක ගන්නේ”

ලයනල් වගසිංහ නම් සනත්ගේ හැකියාව ඔප මට්ටම් කළ පුහුණුකරුවා කලකට ඉහත අප සමඟ පැවසුවා මතකය.

“මම ඒ කාලේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා. වමතින් වේගපන්දු යැව්වේ. හැබැයි කණ්ඩායමට අවශ්‍ය වුණාම වමතින් දඟපන්දු යවන්නත් මම සූදානමින් හිටියේ.”

අපේ ගෙදර තිබුණේ මුහුදට ඉතාම ආසන්නයෙන්. වැල්ලේ ක්‍රිකට් ගහන්න, වැල්ලේ දුවන්න, ඒ ඔක්කොම ඉවර වෙලා මුහුදටම පැනලා නාගන්න අපිට තිබුණේ පුදුම ආසාවක්. ඇත්තටම ඒ සරල පරිසරයෙන් ලැබුණ දේ බොහෝමයි. 

“අපේ අම්මා ටිකක් සැරයි. අපේ වත්තේ ක්‍රිකට් ගහද්දී ජනේලවල වීදුරු ලෑලි කෑල්ලක් තියල ආවරණය කරල තමයි සෙල්ලම් කරන්නේ. වැරදිලාවත් වීදුරුවක් බිඳුණොත් එදාට නම් විසුමක් නැහැ. ඒ වගේම අපේ අම්මා වැඩ ඇරල වැල්ල පාර දිගේ ගෙදර එනකොට ඔක්කොම බැට් බෝල දාලා පැනල දුවනවා. අම්මට ඔක්කොම බයයි.”

සනත් කියන්නේ සිනහමුසු මුහුණෙනි.

“1988 අවුරුද්දේ වගේ මම දහනමයෙන් පහළ ලෝක කුසලානයේ මූලික සංචිතයට තේරෙනවා. ඒ නිසා මට කොළඹ එන්න සිදුවෙනවා. මම ඇවිත් නැවතුණේ රාජගිරියේ ඔබේසේකරපුර මගේ මාමාගේ ගෙදර. 

අපේ දහනමයෙන් පහළ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් සංජීව රණතුංග. ඔහු අර්ජුන රණතුංගයන්ගේ බාල සහෝදරයෙක්. සංජීව මා ගැන අර්ජුන අයියාට කියල තිබුණා. දවසක් සංජීව මට කිව්වා සනත් ඔයාට මරදානේ අපේ ගෙදර නවතින්න පුළුවන් කියල. අර්ජුන අයියගේ ගෙදර නවතින්න එන්නේ ඔහොම. මම එහේ මාස හයක් විතර හිටියා.

ඔය අතරේ මොහොමඩ් ඩැෆ්ටර් කියල මාතර ඉඳලම ආපු අයියා කෙනෙක් මා ගැන විස්තර හොයල තිබුණා. ඔහුත් මගේ පාසලේම ආදි ශිෂ්‍යයෙක්. ඩැෆ්ටර් අයියා කිව්වා ඕනම වෙලාවක අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් කියල. ඇත්තටම ඔහු මාව බලාගත්තේ දරුවෙක් බලාගන්නවා වගේ.

මම කොළඹ එන්නේ යාන්තම් අවුරුදු දහනමය විස්ස වෙද්දී. කොළඹ සමාජය මට මුලින් ටිකක් නුහුරුයි. සමහර සිකුරාදා දවසට මම බෑග් එකත් කරේ දාගෙන බස් එකේ නැගල මාතර යනවා. මාව බලාගත්තේ ඩැෆ්ටර් අයියා. මම අදටත් ඔහුට ණයගැතියි. 

ඩැෆ්ටර් අයියා මාර නීතිකාරයා. රෑට 8.00- 8.30 වෙද්දී මං රෑට කන්න ඕන. රෑ 9.30 වෙද්දී නිදාගන්න ඕන. දවසේ වුන දේවල් ඔක්කොම එයා එක්ක කියන්න ඕන. ඒ වගේම ඩැෆ්ටර් අයියාගේ වයිෆ් ගැනත් ආදරයෙන් මතක් කරන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පෝෂණීය ආහාර පාන උවමනා කරනවා. අක්කා තමයි ඒ හැමදේම හොයල බැලුවේ. ඇත්තටම මම ඒ පවුලේ සාමාජිකයෙක් කියල කියන්න පුළුවන්.

මම වැරදි පාරක් ගහල අවුට් වුනත් ඩැෆ්ටර් අයියා ඒක නිවැරදි කරන්න බලනවා. ඒ වගේම වනිගසිංහ කියල තවත් මාතර ඉඳල ආපු අයියා කෙනෙක් හිටියා එයත් ඒ වගේ. මේ දෙන්නා පුළුවන් හැම වෙලාවෙම මම ගහන මැච් බලන්න ආවා. ඩැෆ්ටර් අයියාගෙන් ගැලවුනත් වනිගසිංහ අයියාගෙන් නම් ගැලවෙනවා බොරු. 

ඇත්තටම අපි දකිනවා හොඳ සහජ හැකියාවක් තිබෙන තරුණ ක්‍රීඩකයෝ කොළඹ ඇවිත් මෙහේ පරිසරයත් එක්ක නැති නාස්ති වෙනවා. ඩැෆ්ටර් අයියා මගේ පස්සෙන් නොහිටින්න ඇත්තටම සනත් ජයසූරිය කෙනෙක් බිහි නොවෙන්න තිබුණා.

ගොඩක් දවසට ඩැෆ්ටර් අයියාගේ ගල්කිස්සේ ගෙදර ඉඳන් අපි දෙන්නා වැඩට ආවේ ඩැෆ්ටර් අයියා ගාව තිබුණු ‘චැලි’ වර්ගයේ යතුරුපැදියකින්. මට පුහුණුවීම් තිබුණ දවසට ඩැෆ්ටර් අයියා මට බයික් එක දීල එයා බස් එකේ ගෙදර යනවා. 

කොළඹ ආපු මුල්ම දවස්වල මම ක්‍රීඩා කළේ කොළඹ ක්‍රීඩා සමාජයට (CCC). ඒ ක්‍රීඩා සමාජයේ අය මට සෑහෙන උදව් කළා. විශේෂයෙන්ම කේ. එම් නෙල්සන් මහත්මයා, රොෂාන් මහානාම වගේ අය. පස්සේ කාලෙක රොෂාන් අයියා එක්කම මම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එනවා. 

මම මුලින්ම ජාත්‍යන්තර තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ 1988/89 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ගිය දිගම සංචාරය එය වෙන්න ඕන. මාස දෙකහමාරකට වැඩි කාලයක්. 

ඕස්ට්‍රේලියාව හිතනවා තරම් ලෙහෙසි තැනක් නෙවෙයි. ඔවුන් අපිට නොයෙක් දේවල් කියනවා. ඒ දේවල්වලට අපි ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. අර්ජුන අයියා නම් ආපහු මොනවහරි කියනවා. අරවින්ද අයියා ඊට වෙනස්. ඔළුව නමාගෙන ක්‍රීඩා කරනවා.  මගේ ක්‍රමයත් ඒකයි. මම ආපහු මුකුත් කියන්න යන්නේ නෑ. නමුත් පිත්තෙන් ඊට නිසි පිළිතුරු දෙනවා. ඕස්ට්‍රේලියානුවන් අපිට තැනක් නොදී තිබුණට අපි දැනගෙන හිටිය අපි හොඳ ක්‍රිකට් ගහනවා කියල.

පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ආ සනත්ට වැඩිකල් නොයා ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස් වීමක් ලැබෙන්නේය.

Getty Images

“පොඩි පීඩනයක් තිබුණා. නමුත් මං ගැහුවේ මං දන්න ක්‍රිකට්. ලයනල් අයියාවත් ඊට පසුව මගේ පුහුණුකරුවනුත් මාව වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම අර්ජුන අයියා ඇතුළු කණ්ඩායම ඒකට උපරිම සහයෝගය දුන්නා. මම අසාර්ථක වුන හැම තැනක දී ම වගකීම අර්ජුන අයියා ඇතුළු ජ්‍යේෂ්ඨයෝ බාර ගත්තා. අර්ජුන අයියාට අදටත් අපි හැමෝම දෙවි කෙනෙක්ට වගේ ගරු කරන්නේ ඒකයි.

ඒ වගේම 1996 ඇඩිලේඩ් ශතකය මගේ ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ග්ලේන් මැක්ග්‍රාත්, ෂේන් වෝන්, ක්‍රේග් මැක්ඩමර්ට්, පෝල් රයිෆල් වගේ පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටියා. ඕස්ට්‍රේලියාව වගේ රටවල හොඳින් ලකුණු රැස් කරන කොට ලෝකය අපි ගැන විමසිල්ලෙන් බලනවා.

අනෙක ටෙස්ට් තරග හෝ සීමිත පන්දුවාර තරග හෝ වේවා පන්දු 30කින් පනහක් ගහන්න පුළුවන් නම් ගහන්න ඕන. අන්තිමේ දී මිනිස්සු බලන්නෙත් ඒ වගේ ආක්‍රමණශීලී ක්‍රිකට්.

හැබැයි හොඳ බෝලයක් වැටිලා බිංදුවට ගියත් කමක් නැහැ ලකුණු තිහක් විතර ගහල මෝඩ පාරක් ගහල අවුට් වෙලා ආවොත් අර්ජුන අයියගෙන් බේරිල්ලක් නම් නැහැ.”

1996 ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව කියා හැඳින්වූවාට වරදක් නැත. අප කතානායකයා ලෝකයම වසඟයට ගත්තේ මේ තරගාවලිය හරහාය. ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ සනත් නිසා ක්‍රිකට් දිවිය හමාර කර ගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් ඔහුගේ චරිතාපදානයේ කියන්නේ පන්දුවාර තුනකින් කණ්ඩායමක් ලකුණු පනහක් වාර්තා කළ අවස්ථාවක් හීනයක් ලෙසය.

The Golden Era of Sri Lankan Cricket: Ajith C.S Perera

“ලෝක කුසලානය කියල අමතර පීඩනයක් තිබුණේ නම් නැහැ. අවසන් පූර්ව තරගයේ මෙන්ම අවසන් තරඟයේත් ඉක්මනින් කඩුලු දෙකක් වැටුනත් අපිට දිනන්න පුළුවන් කියන තැන අපි හිටියේ. අපේ පන්දු යවන්නන්ටත් යම් තාක් දුරකට බැට් කරන්න පුළුවන්.

ලෝක කුසලානයේ අවසන් මහා තරඟයකට කලින් දවසේ මට උණ ගත්තා. බයකට එහෙම නෙවෙයි හැබැයි අපිට දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තිබුණා.

අරවින්ද අයියා ගැනත් යමක් කියන්න ඕන ඒ තරම් සහජ හැකියාවක් තිබුණ පිතිකරුවෙක් මම දැකල නැහැ. ඔහුට ලෙහෙසියෙන්ම ටෙස්ට් ලකුණු 10,000ක් ගහන්න තිබුණා.

කලින් කිව්වත් වගේ කොළඹ ආපු මුල්ම කාලේ අර්ජුන අයියාගේ මරදානේ ගෙදර ටික කාලයක් හිටියා. ඊට පස්සේ මගේ නවාතැන වුණේ ඩැෆ්ටර් අයියාගේ ගල්කිස්සේ ගෙදර. ලෝක කුසලානයට මම යන්නෙත් ඒ ගෙදර ඉඳල. පස්සේ කාලෙක මම මගේම ගෙයක් හැදුවට පස්සේ තමයි මම එහෙන් ආවේ.

මම හැමදාම පිටරටක ටුවර් එකක් යනවා නම් ක්‍රිකට් බෝඩ් එකට ආවේ ඩැෆ්ටර් අයියාගේ වෑන් එකෙන්. ශ්‍රී ලංකාවට ගහපු කාලේ කවදාවත් ඒක වෙනස් වුනේ නැහැ. මට කොයි තරම් යාන වාහන තිබුනත් ඩැෆ්ටර් අයියා එක්ක එයාගේ වෑන් එකේ එනව තරම් දෙයක් තවත් තිබුණේ නැහැ. ඇත්තටම ඒක සුභ ලකුණක් කියල මම විශ්වාස කළා.”

1999 අසාර්ථක ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය සනත්ගේ කරමත වැටුණි. ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමේ සිටිය දී ශ්‍රී ලංකාව නැවත ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරන්නට සනත්ට හැකියාව ලැබුණි.

“ඇත්තටම අර්ජුන අයියා, අරවින්ද අයියා ඒ වෙද්දීත් කණ්ඩායමේ හිටියා. පොඩි පීඩනයක් නොතිබුණාමත් නෙවෙයි. නමුත් එයාලා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. 

බොහෝ දෙනෙක් කියන කතාවක් මම වාසනාවන්ත නායකයෙක් කියල. ඔව් ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට යම්තාක් දුරකට වාසනාව ඕන. හැබැයි මම කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන් හැමදාම සියයට දෙසීයක් දුන්නා. එහෙම අය පිටිසස්සේ වාසනාව කියන දේ නොදැනීම එනවා.”

සනත් කී දෙය සත්‍යයකි. සනත් නායකත්වය දැරූ සමයේ බොහෝ තීරණාත්මක තරඟවල කාසියේ වාසිය අපේ පැත්තට පෙරළුණු බව නොරහසකි.

“මම නායකත්වයේ ඉඳිද්දී තරමක තද තීරණ ගන්න වුනා. දැන් කුමාර් සංගක්කාර වෙනුවෙන් රොමේෂ් කළුවිතාරණ වගේ කෙනෙක් ඩ්‍රොප් කරන්න ගත්තු තීරණය ටිකක් අමාරු එකක්. නමුත් රට වෙනුවෙන් අපිට ඒ තීරණ ගන්න වුනා. අපෙන් පස්සේ ආපු අය එහෙම කළේ නෑ කියලත් හිතෙනවා. අද අපි ඉන්න පසුබෑමට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්”

සනත් ජයසූරිය අපට වීරයෙක් වන්නා සේම ඔහුගේ ක්‍රිකට් වීරයින් ද නැතුවා නොවේ. සනත් පෙම් බැන්දේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ක්‍රිකට් රටාවටය.

මම හරිම ආසයි සර් විවියන් රිචර්ඩ්ස් එක්ක හරි ඩෙස්මන්ඩ් හෙන්ස් එක්ක හරි බැට් කරන්න අවස්ථාවක් ලැබුණොත්. එයාලා අපේ පොඩි කාලේ වීරයෝ.”

සනත් කියන්නේ දෑත් එකිනෙක පිරිමදිමිනි. ජයසූරිය පරම්පරාවේ ඊළඟ පුරුක ක්‍රීඩාවේ යෙදෙන ආකාරය අපි සමාජ ජාලා වෙබ් අඩවි හරහා දුටු නිසාම අපි සනත්ගේ පුත්‍රයා ගැන විමසීමට අමතක නොකළෙමු.

ඔව් එයාට හොඳ ටැලන්ට් එකක් තියනවා. හැබැයි එයාට මගේ එක්ක ලෙහෙසි නෑ. මට ටිකක් කේන්ති යනවා. මම එයාගේ ක්‍රිකට් වෙනස් කරන්නේ නැහැ. බලපෑමක් කරන්නෙත් නෑ. ඉදිරියේ දී එයා හොඳින් ක්‍රීඩා කරයි කියල මම හිතනවා.” 

පොඩි කාලේ මට අමුතු පුරුද්දක් තිබුණා. මට නිරන්තරයෙන් මොනවා හරි කන්න ඕන. උදේ හතට ගෙදරින් බත් එකක් කාලා ඇවිත් ආයේ දහයාමාරට විතර ඉස්කෝල ඉඳන් ගෙදර දුවනවා මොනවා හරි කාලා එන්න. ආයේ දවල් එකහමාරට විතර ගෙදර දුවල බත් කාල එනවා. ආයේ රෑට ගෙදර ගිහිල්ලත් බත් එකක් කනවා. හැබැයි කන බොන දේ ඉක්මනින් දහනය වෙනවා. මොකද නිතරම ඉන්නේ පිට්ටනියේ සෙල්ලම් කර කර‍නේ.

එකපාරක් මැච් එකකට කොළඹ ඇවිත් හොස්ටල් එකෙන් පැනල කන්න ගියා කාටත් හොරෙන්. අපි ඇඳගෙන ගියේ සරම්. එදා කෝච්ගේ අතටම අපි අහුවෙලා හොඳටම ගුටි කෑවා අද වගේ මතකයි.

අපේ ක්‍රිකට් වැටිලා නෑ. අපිට උඩට එන්න පුළුවන් හරියාකාරයෙන් කළමනාකරණය කළොත්. සහජ හැකියාවේ අඩුවක් නම් නැහැ අපේ ක්‍රීඩකයින්ගේ.

ඒ වගේම දෙයක් කියන්න ඕන. ගමේ ඉඳන් කොළඹ ආවා කියල සනත් ජයසූරිය කියන පුද්ගලයා කොළඹ අයට ඕන විදියට වෙනස් වුණේ නැහැ. මම තාමත් පරණ සනත් ජයසූරියමයි.

ක්‍රිකට් පිටියේ සුරුවිරුකම් පෑ සනත්ගේ ජීවන ගමනට අර්ධ ශතකයක් පිරුනත් එදා ක්‍රිකට් පිටියේ දී දුටු ජවය ඒ ආකාරයෙන්ම තවමත් තිබේ. ඉතින් තවත් විරාත් කාලයක් නීරෝගි සුවයෙන් ඉන්නට ලැබේවායි පතමින් අපි සනත් ජයසූරිය නම් ක්‍රිකට් විරුවාට සමුදෙන අවස්ථාවේ ඔහු කී දෙයක් නැවත ඔබ හමුවේ තබන්නට සිතේ. 

“කිසිම දෙයක් ඔබට නිකම්ම ලැබෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම නිරන්තරයෙන් මහන්සි වෙන්න ඕන. කැපවෙන්න ඕන. එතකොට කවදාවත් වරදින්නේ නැහැ”

විශේෂ ස්තුතිය: මහේෂ් මදුශංක මහතාට

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<