Naseem සහ Shahzad ශ්‍රී ලංකා පළමු ඉනිම විනාශ කරයි

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

166

පාකිස්තානු A හා ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (05) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 64ක් රැස්කර සිටියා.

ඊයේ (04) සවස් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇඳහැළුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස්කර සිටියා.

එම රිද්මයෙන්ම දෙවැනි දිනයට පිවිසි පාකිස්තාන ආරම්භ පිතිකරු Abdullah Shafique අගනා ශතකයක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 208කට මුහුණ දෙමින් ලකුණු 117ක් ලබා සිටි ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සුමින්ද ලක්ෂාන්ට හැකි වුනේ ශ්‍රී ලංකාවට තරමක සහනයක් ගෙන දෙමිනි.

ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Mohammad Haris ලකුණු 22ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශිරාස්ට හැකි වීම නිසාවෙන් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 6ක් දැවී ලකුණු 281ක් ලෙසයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමින් පන්දු 172ක් තුළ හතරේ පහර 13ක් සමඟින් ලකුණු 103ක් ලබා ගනිමින් අගනා ශතකයකින් සිය ඉනිම ශක්තිමත් කිරීමට Agha Salmanට හැකි වුනා.

Ahmed Safi Abdullah ලකුණු 5ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ චාමික ගුණසේකර මුළු ලකුණු සංඛ්‍යාව 344ක් වෙද්දී ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වූ Agha Salman ක්‍රීඩාගාරයට හරවා යැවුවේ සිය පස්වැනි කඩුල්ල ද දවා ගනිමිනුයි.

ඉනිම පුරාවටම කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ චාමික ලකුණු 20ක් ලබා සිටි Khurram Shahzad සිය හයවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වූ අතර අවසන් කඩුල්ල සඳහා Naseem Shah සහ Arshad Iqbal පිහිටවූ ලකුණු 45ක සම්බන්ධතාව නිසා පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 394ක් ලබා ගැනීමට පාකිස්තාන A කණ්ඩායමට හැකි වුනා.

පන්දු යැවීමේ දී චාමික ලකුණු 86කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර මොහොමඩ් ශිරාස්, හිමේෂ් රාමනායක සහ සුමින්ද ලක්ෂාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ කමිල් මිෂාර සහ නිශාන් මධුශ්කයි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් ලකුණක් වන විට නිශාන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ Naseem Shahගේ පන්දුවක් හමුවේයි.

එම පන්දුවාරයේම නැවත ක්‍රියාත්මක වූ Naseem Shah කමිල් මිෂාර එක් ලකුණකටත් සහ නායක සදීර සමරවික්‍රම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් නරඹන්නන් බවට පත්කරමිනුයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 19ක් වන විට ලකුණු 4ක් ලබා සිටි නුවනිදු ප්‍රනාන්දු සිව්වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට Khurram Shahzadට හැකි වූ අතර ලකුණු 17ක් ලබා සිටි නිපුන් ධනංජය Naseem Shahගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා A ඉනිම අසරණ තත්වයකට පත්කරමිනි.

ඉන්පසු පිටියට පිවිසි සම්මු අශාන් හට ද පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් Khurram Shahzad සම්මු ලකුණු 3ක් පමණක් ලබා සිටිය දී නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ශ්‍රී ලංකා A ලකුණු පුවරුව දැක්වුණේ 6/25ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි හිමේෂ් රාමනායක දවා ගැනීමට Khurram Shahzadට හැකි වුනේ Mohammad Haris රැක ගත් උඩපන්දුවක් නිසයි. ඉන්පසු පිටියට එක්වුනේ මොහොමඩ් ශිරාස්.

සුමින්ද ලක්ෂාන් සමඟ එක්ව අටවැනි කඩුල්ල සඳහා ලකුණු 25ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් එක් කිරීමෙන් පසු Arshad Iqbalගේ පන්දුවක් හමුවේ ලකුණු 4ක් ලබා සිටි ශිරාස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 60 වන විටයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූ සුමින්ද ලක්ෂාන් පන්දු 35ක් තුළ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී නවවැනි කඩුල්ල ලෙස Ahmed Safi Abdullahගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

යහපත් ආලෝක තත්වය නිසාවෙන් අද දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 64ක් රැස්කර ගනිමින් පාකිස්තාන A කණ්ඩායමට වඩා ලකුණු 330ක් පිටුපසින් සිටිනවා.

දෙවැනි දිනය අවසානයේ ලකුණු සටහන

  • පාකිස්තාන A පළමු ඉනිම – 394/10 (106): Abdullah Shafique 117, Agha Salman 103, Kamran Ghulam 45, චාමික ගුණසේකර 6/83
  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 64/9 (21): සුමින්ද ලක්ෂාන් 29, නිපුන් ධනංජය 17, Naseem Shah 4/25, Khurram Shahzad 3/10

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<