පාකිස්තාන පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

1881

ශ්‍රී ලංකා A හා පකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර අද (11) පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට පාකිස්තාන A කණ්ඩායමට හැකි වුනා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායමේ නායක Saud Shakeel පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

  • ශ්‍රී ලංකා A කණ්ඩායම; ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, පුලින තරංග, ළහිරු සමරකෝන්, ශිරාන් ප්‍රනාන්දු, කළණ පෙරේරා, අශේන් ඩැනියල්.
  • පකිස්තාන A කණ්ඩායම; Omair Yousuf, Abdullah Shafique, Saud Shakeel (c), Mohammad Taha, Agha Salman, Qasim Akram, Mohammad Haris, Abbas Afridi, Naseem Shah, Khurram Shahzad, Abrar Ahmed

පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 10ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන්ට හැකි වුනේ ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු නොලබාම සහ සදීර සමරවික්‍රම එක් ලකුණකට පිටියෙන් ඉවත් කරමිනි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 19ක් වන විට ලකුණු 6ක් ලබා සිටි අශේන් බණ්ඩාර දවා ගැනීමට Khurram Shahzadට හැකි වූ අතර පස්වැනි කඩුල්ල සඳහා නායක කමිඳු මෙන්ඩිස් සහ පුලින තරංග ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 34ක් ලබා සිටිය දී Abbas Afridiගේ පන්දුවකට ඔහු වෙතම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක් වන විටයි.

පුලින තරංග ලකුණු 6කටත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ සහන් ආරච්චිගේ ලකුණු 23කට සහ ළහිරු සමරකෝන් ලකුණු දෙකකටත් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වීමත් සමඟ ලකුණු පුවරුව දිස්වුනේ 88/8ක් ලෙසයි.

කළණ පෙරේරාට (12) හැර අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ඉඩ නොදෙමින් පාකිස්තාන පන්දු යවන්නන් පෙන්නූ විශිෂ්ට පන්දු යැවීම නිසාවෙන් පන්දුවාර 32.2ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 102කට සීමා වුනා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ Abbas Afridi ලකුණු 30කට කඩුලු 4කුත්, Khurram Shahzad ලකුණු 19කට කඩුලු 3කුත් සහ Naseem Shah ලකුණු 26කට කඩුලු 2කුත් බිඳ හෙළුවා.

ලකුණු 103ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන A කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 38ක් වන විට ලකුණු 15ක් ලබා සිටි Abdullah Shafique පිටියෙන් ඉවත් කිරීමට පුලින තරංගට හැකි වුනා.

ලකුණු 38ක් ලබා සිටි Omair Yousuf මුළු ලකුණු සංඛ්‍යාව 66ක් වෙද්දී දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත් වූ අතර නායක Saud Shakeel සහ Qasim Akram එකම පන්දුවාරයේ පිටියෙන් ඉවත් කිරීමට අශේන් සමත් වුනේ පාකිස්තාන A ලකුණු පුවරුව 76/4ක් බවට පත්කරමිනුයි.

ඉන්පසු පිටියේ එක්වූ Agha Salman සහ Mohammad Taha පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 27ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගිමින් පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 21.2ක් අවසානයේ ජයග්‍රහණය කරා ගෙන ගියා.

  • ශ්‍රී ලංකා A කණ්ඩායම – 102/10 (32.2): කමිඳු මෙන්ඩිස් 34, සහන් ආරච්චිගේ 23, Abbas Afridi 4/30, Khurram Shahzad 3/19.
  • පාකිස්තාන A කණ්ඩායම – 103/4 (21.2): Omair Yousuf 38, Mohammad Taha 19*, අශේන් ඩැනියල් 2/30, පුලින තරංග 1/19.

ශ්‍රී ලංකා A හා පාකිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය සෙනසුරාදා (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<