ප්‍රභාව ගිලිහුණු CR&FC හමුවේ නාවික හමුදාව පහසු ජයක් ලබයි

552
Navy SC v CR&FC

තම සත්කාරක ක්‍රීඩාංගනයේ වාසිය උපරිමයෙන්ම ලබා ගන්නා කණ්ඩායමක් වන නාවික හමුදාව, ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ අවසන් තරගයේ දී ලකුණු 21 -13ක් ලෙස පහසුවෙන් CR&FC කණ්ඩායම පරාජය කරන්නට සමත්ක විය.

CH කණ්ඩායමට යුධ හමුදාවෙන් ප්‍රහාරයක්

ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ දෙවන සතිය අරම්භ කරමින් තුරඟ තරඟ පිටියේදී තරඟ බිමට පිවිසුණු යුධ හමුදා සහ CH&FC කණ්ඩායම් අතර තරඟයේදී 39-12ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය.

වර්ෂාව වැලිසර ප්‍රදේශයට ඉසිඹුවක් ලබා දීම හේතුවෙන් තරින්ද රත්වත්තගේ පාදයෙන් තරග ආරම්භය සනිටුහන් වූයේ දීප්තිමත් හිරු එළියක් සහ වියලි ක්‍රීඩාංගනයක් යන පන්දුව රැගෙන ධාවනයේ යෙදීම සඳහා සුදුසු වාතාවරණයක් යටතේයි.

තරග ආරම්භයේදී පන්දුවේ පාලනය CR&FC ක්‍රීඩකයන් සතුව පැවතියද, එය ලකුණු පුවරුවට වෙනසක් එක් කිරීමට තරම් ඉහල ස්ථානයකට රැගෙන යන්නට ඔවුන් සමත් නොවීය.

පන්දුවේ පාලනය CR&FC කණ්ඩායම වෙත වැඩිපුර නතුවී තිබු අවස්තාවක, රැල්ලට විරුද්ධව ලකුණු අතරට පිවිසෙන්නට නාවිකයන් සමත් වූයේ CR&FC ක්‍රීඩකයෙකු අතින් පන්දුව ඉදිරියට විසිවී ආ වරදට නාවික හමුදා කණ්ඩායමට පිරිනැමුණු ස්ක්‍රම් අවස්තාවකිනුයි.

නාවික හමුදා අංක 8 ක්‍රීඩක නිවනක ප්‍රසාද් CR&FC ක්‍රීඩකයන්ගෙන් මිදී උත්සාහක දිනුම් රේඛාව වෙත දිව යන විට CR&FC ආරක්ෂක ක්‍රීඩකයන් තිදෙනෙකුටම සිදුවූයේ ඔහු පසුපස දිව ගොස් ඔහු ලකුණු වාර්තා කරන ආකාරය බලා සිටීමටයි. තිළිණ වීරසිංහ එම උත්සාහක දිනුමට අමතර වටිනාකම එක් කරන්නටද සමත් විය (07-00).

නාවිකයන්ට එම ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂිත වාසියක් ලෙස සිතීමට කාලයක් ලබා නොදුන් CR&FC ක්‍රීඩකයන්, තරගය නැවත ආරම්භ කල මොහොතේ සිටම පන්දුව තමන් පාලනයට ගෙන දැඩි ආක්‍රමණයක් දියත් කල අතර ඔවුන් වැලැක්වීමට නාවික හමුදා ආරක්ෂක ක්‍රීඩකයන් නීති විරෝධී ලෙස ස්ථාන ගත වීම හේතුවෙන් CR&FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවිය. රීසා මුබාරක් එම අවස්තාව ලකුණු බවට පරිවර්තනය කිරීමත් සමඟ නාවිකයන්ගේ ලකුණු වාසිය ලකුණු 4 දක්වා අඩු විය (07-03).

නාවික හමුදා සෙන්ටර් ක්‍රීඩක ලහිරු හේරත් හට මිනිත්තු 10ක කාලයක් ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට විනිසුරු නියම කලේ ඔහු  CR&FC ක්‍රීඩක රීසා මුබාරක් හට එරෙහිව සිදු කල නීති විරෝධී අභියෝගයක් හේතුවෙනි.

එම වරදට හිමිවූ දඬුවම් පහර, ගෝල කණුවට මීටර් 40ක් පමණ එපිටින් ස්ථානගත වී තිබුනත් එය ගෝලය වෙත එල්ල කිරීමට තීරණය කල අතර එම උත්සාහය කිසිදු අපහසුවකින් තොරව සාර්ථක කර ගන්නටද සමත් විය. මේ අනුව පළමු අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙක අතර ලකුණු තත්ත්වයන් වෙන්වී තිබුනේ එක් ලකුණක සියුම් රේඛාවකින් පමණි.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 07 – 06  CR & FC හමුදා ක්‍රීඩා සමාජය

CR&FC කණ්ඩායම දෙවන අර්ධය ආරම්භ කලේද කණ්ඩායම් දෙක අතරින් වඩාත් ප්‍රබල ලෙස දස්කම් අතර සිටින්නේ තම කණ්ඩායම බව ක්‍රීඩා ලෝලීන් හට පෙන්වමිනුයි. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අවසන් ඔප දැමීම් ආකාරයෙන් සිදු කර ගත නොහැකි වූ CR&FC කණ්ඩායමට සිදුවූයේ පළමු අර්ධයේ මෙන්ම රැල්ලට එරෙහිව නාවිකයන් ලකුණු අතරට පිවිසෙන අයුරු බලා සිටීමටයි.

මෙවර ක්‍රීඩක රංචුවෙන් පන්දුව ඩැහැගත් ලහිරු හේරත් උත්සාහක දිනුම් රේඛාව වෙත විශිෂ්ට ධාවනයක යෙදුනු අතර තිලින වීරසිංහ මෙවරද සාර්ථක ප්‍රවර්ථනයක් එල්ල කරමින් ලකුණු පරතරය ආරක්‍ෂිත ලකුණු 7ක සීමාවෙන් ඔබ්බට ගෙන යන්නට සමත් විය (14-06).

අනතුරුව තරගය තියුණු මුහුණුවරක් ගත්තේ CR&FC ක්‍රීඩකයන් නාවික හමුදා ආරක්ෂක පෙළ බිඳ දැමීමේ විශාල උත්සාහයකට යොමු වීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ දැඩි උවමනාවකින් පසුවූ CR&FC ක්‍රීඩකයන් අතින් සිදුවූ දෝෂයක් ලෙස අර්ථ දක්වමින් ප්‍රතිවාදී ගෝල සීමාවට මීටර් 5ක් දුරින් නාවික හමුදාවට ස්ක්‍රම් අවස්තාවක් ලබා දීමට විනිසුරු ඉර්ශාඩ් කාදර් පියවර ගන්නා ලදී.

එහිදී පන්දුව උත්සාහක දිනුම් රේඛාව හරහා ගෙන ගියේ ආදේශක ඉදිරි පෙළ ක්‍රීඩක චරිත් සිල්වායි. තිලිණ මෙම ප්‍රවර්තනයද සාර්ථක කර ගනිමින් මෙම තරගයේදී 100%ක සාර්ථකත්වයක් ද වාර්තාවක් රඳවා ගන්නට සමත් විය (21-06).

තරගයේ ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු ගිලිහී ගියත්, අභිමානය රැක ගැනීම සඳහා සටන් කල CR&FC කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ උත්සාහය අත් නොහැරි අතර සත්කාරක කණ්ඩායමට එල්ලවූ පීඩනය හේතුවෙන් අවසන් මොහොතේදී ඔවුන් දඬුවම් පහර කිහිපයක් ලබා දීම CR&FC කණ්ඩායමට වාසිදායක විය.

දඬුවම් පහරකින් ඉක්මනින් පන්දුව ලබාගෙන අගනා පන්දු හුවමාරුවකින් පසු CR&FC කණ්ඩායමේ ප්‍රථම සහ එකම උත්සාහක දිනුම වාර්තා කරන්නට ආදේශක විංග් ත්‍රී ක්වාටර් ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි සශාන් මොහොමඩ් සමත් විය. රීසා මුබාරක් එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමත් සමඟ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය නිමා වූයේ නාවිකයන්ට සිය දෙවන ජයග්‍රහණයද හිමි කර දෙමිනුයි.

සම්පූර්ණ ලකුණු: නාවික හමුදා ක්‍රීඩා සමාජය 21 – 13 CR & FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුලංජන විජේසිංහ (නාවික හමුදා හුකර් ක්‍රීඩක)

තරගයෙන් පසු දුලංජන ThePapare.com වෙත මෙලෙස අදහස් දැක්වීය ප්‍රතිවාදීන් සමඟ පැවැත්වුණු ඉතා අමාරු තරගයක්. අපි ඔවුන්ව කිසිසේත්ම සුලු කොට තැකුවේ නෑ. අපි ක්‍රීඩාවේ මූලික දේවල් හරියට කළා. නමුත් අපිට දියුණු කර ගත යුතු අංශ බොහොමයක් තියනවා. අපි එම වැරදි හදා ගතහොත් ඉදිරි තරග වලදී අපිට ලොකු වාසියක් තියේවි

මෙම තරගයේදී ඔහුගේ දස්කම් පිලිබඳව දුලංජන දරන්නේ මෙවැනි අදහසක්. මම මේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවා. නමුත් මම මගේ දස්කම් පිළිබඳව කිසිසේත්ම සැහීමකට පත්වන්නේ නැහැ. මට ඊට වඩා හොඳින් කරන්න තිබුනා.

ගෝල ලබාගැනීම්

නාවික හමුදාව – නිවංක ප්‍රසාද් (1T),  ලහිරු හේරත් (1T), චරිත් සිල්වා (1T), තිළිණ වීරසිංහ (3C)

CR & FC ක්‍රීඩා සමාජය සශාන් මොහොමඩ් (1T), රීසා මුබාරක් (1C), රීසා මුබාරක්‌ (2P)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට