නිකිත ග්‍රේරෝ කුසලානය නුගේගොඩට

474

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පාසල් ද්විත්වයක් වන නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල හා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර අද (1) දෙවන වරටත් පැවැත්වූ “නිකිත ග්‍රේරෝ” අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 102කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය තමන් සතු කර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

මාලිංග හෙට තරගෙට නැහැ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (2) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත දෙවන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වූ මෙම අභියෝගතා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා තම සහෝදර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආරාධනා කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට අවතීර්ණ වූ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන්  දක්ෂ පිතිකරණයක නිරත වූ පසිඳු රාජපක්ෂ, පානදුර ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ පන්දු යවන්නන් හොඳින් අවබෝධ කරගෙන පිතිකරණයේ නිරත වෙමින් අර්ධ ශතකයක් වාර්තා කළේය.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ නායක දෙව්මින ද අල්විස් වගකීම් සහගත පිතිකරණයක නිරත වෙමින් තම විද්‍යාලයේ මැදපෙළ ස්ථාවර මට්ටමකට ගෙන එන ලදි. ඔහු විසින් නොදැවී ලකුණු 31*ක් වාර්තා කරන ලදි.

එයට අමතරව විහඟ අඹේපිටිය හා දමිත පවන්, මුල්පෙළින් පිතිකරණයේ නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 25ක් ලබා ගත් අතර, නියමිත පන්දුවාර 50 අවසානයේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල කඩුලු 9ක් දැවී ලකුණු 288 හොඳ ලකුණු මට්ටමක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ලකුණු 51ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට සිසිර තෙන්නකෝන් සමත් විය.

ලකුණු 289ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පැමිණි පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් මෙසඳ වීරසේකර ලකුණු 38ක් ලබාගෙන සිය පාසල වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ පිතිකරණයක නිරත විය. අනෙක් අන්තයෙන් ඉසුරු පෙරේරා ද ලකුණු 30ක් රැස්කර ගෙන තම විද්‍යාලය වෙනුවෙන් හැකි උපරිමයෙන් ක්‍රීඩා කළ නමුත්, පානදුර ලයිසියම් විද්‍යාලයේ අනෙකුත් පිතිකරුවන්ට පිටියේ වැඩි වේලාවක් ස්ථාවර වීමට ලකිඳු රාජරත්න ඇතුළු නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ පන්දු යවන්නන් අවසර දුන්නේ නැත.

මේ අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 45කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ. ඒ අනුව පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට ලකුණු 242ක ඉලක්කයක් හිමි විය. නමුත් තරගයේ නියමිත පන්දුවාර 45 අවසානයේ අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 139ක් පමණි.

පන්දු යැවීමේ දී ලකිඳු රාජරත්න ලකුණු 07ක් තුල කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල “නිකිත ග්‍රේරෝ” අභියෝගතා ශූරතාවය පළමු වරට ජයග්‍රහණය කිරීමට සමත් විය.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – කඩුලු 9ක් දැවී ලකුණු 288 (පන්දුවාර 50): පසිඳු රාජපක්ෂ 53, දෙව්මින ද අල්විස් 31*, විහඟ අඹේපිටිය 28, දමිත පවන් 25, සිසිර තෙන්නකෝන් 3/51

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල – කඩුලු 9ක් දැවී ලකුණු 139 (පන්දුවාර 45): මෙසඳ වීරසේකර 38, ඉසුරු පෙරේරා 30, ලකිඳු රාජරත්න 2/07

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට