හතුරුගේ නව මිතුරා කවුද?

4466
Next Sri Lanka Cricket Captain

හතුරු… නැතිනම් උපුල් චන්දික හතුරුසිංහ.. පසුගිය කාල සමයේ සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මුවග නිතර රැඳුණු නාමය වූයේ එයයි. එකී සුවහසකගේ බලාපොරොත්තු වලට නව පණක් දෙමින් නව පුහුණුකරු හතුරුසිංහ වැඩ අරඹා තිබේ.

ලැබෙන ආරංචි නිවැරදි නම් හතුරු දැනටමත් බංගලාදේශය සමඟින් එක්දින පිටියේ තරග වදින්නට 23 දෙනෙකුගෙන් යුත් පිරිසක් තෝරාගෙන අවසානය. එතැනින් නොනැවතුන ඔහු එම 23 දෙනා හට දේශීය ක්‍රිකට් පිටියට බැසීමට තහංචියකුත් පනවා ඇත. ඒ ඔවුන් හට තනි තනිව හා කණ්ඩායමක් වශයෙන් වෙන් වෙන් ලෙස විශේෂ පුහුණු සැලැස්මක් ද ලබා දෙමිනි.  

තවද කණ්ඩායමේ ක්‍රීඩකයන් හට ප්‍රශ්නාවලියක් ලබා දී ඒවාට ඔවුන් සපයන පිළිතුරු අනුව ඔවුන්ගේ මානසික මට්ටම් හඳුනා ගෙන ඒ අනුව පුහුණුවීම් හා උපදේශන සේවා සැලසුම් කරන බවත්, ඒ සඳහා මනෝ චිකිත්සකවරයෙකුගේ සහය ලබාගන්නා බවත් මෑත අසන්නට ලැබුණු පුවත් කිහිපයකි.

මේ සියලු කාරණා අතරේ ඉස්මතු වූ නවතම කාරණය වන්නේ එක්දින කණ්ඩායමට නව නායකයෙක් පත් කිරීමට යෝජනා ඉදිරි පත් වෙමින් පවතින බවයි. ඉන්දීය සංචාරය සඳහා නායකත්වයට තිසර පෙරේරා පත් කරන ලද අවස්ථාවේ කළමනාකාරිත්වය විසින් පැවසූයේ ඔහුව නම් කරන ලද්දේ ඉන්දීය සංචාරයට බවයි. ඒ අනුව බලන කල දිගුකාලීනව නව නායකයකු පත් කිරීමට වැඩි සම්භාවිතාවයක් පවතී.

අප මේ උත්සාහ ගන්නේ සමාජ වෙබ් අඩවි වල විවිධ අවස්ථාවල දී ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වූ එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හා ඔවුන්ගේ නායකත්ව ශක්‍යතාවයන් පිළිබඳව විමසා බැලීමටයි.

ඇන්ජලෝ මැතිව්ස්

එක්දින ජාත්‍යන්තර තරග 195කට සහභාගී වී ඇති මැතිව්ස් තරග 98ක දී කණ්ඩායමට නායකත්වය සපයා ඇත. ඉන් තරග 47ක් ජයගෙන ඇති ඔහුගේ නායකයකු ලෙස තරග ජය ගැනීමේ ප්‍රතිශතය 47%කි. මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 45ක් පරාජය වී ඇත.

මැතිව්ස්ගේ මුල් නායකත්ව සමයේ දී මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් වැනි අත්දැකීම් බහුල නායකයන්ගේ ගුරුහරුකම් ලැබීමට ඔහු වාසනාවන්ත වුවත්, 2015 වසරේ ලෝක කුසලානයෙන් පසුව එකී ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ ඉතා අසීරු යුගයකට මැතිව්ස් හට මුහුණ දීමට සිදු විය. නායකත්වයේ වගකීම කර මතට ගෙන කණ්ඩායම ගලවා ගන්නට ඔහු උත්සාහ කළ ද, ඒ බොහෝ අවස්ථාවල අවසානයේ දී මැතිව්ස් හට සිදු වූයේ පරාජිත නායකයාගේ කතාවට දෙබස් කැවීමටයි.

නායකයකු වශයෙන් වරින් වර සැලකිය යුතු දස්කම් දැක්වුවද නායකත්ව ඔටුන්න හිස මත දරා සිටීමට ඔහුට නොහැකි වූයේ  නොනවතින පරාජ රැල්ලකට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවීම නිසාය. ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හා වෙනත් අනේක විධ හේතූන් නිසා 2017 වසරේ ජූලි මාසයේ දී නායකත්වයෙන් ඉල්ලා අස්වීමට මැතිව්ස්ට සිදු විය.

නව පුහුණුකාරීත්වය සමඟින් නැවතත් නායකත්ව භූමිකාව රඟ දක්වන්නට මැතිව්ස් හට නොහැකි වේ යැයි කිසිවකුට කිව නොහැක. පරිපාලනයේ හා පුහුණුකාරීත්වයේ ආශීර්වාදය සමඟින් නැවතත් කණ්ඩායමේ නායකත්වය මැතිව්ස් හට ලැබේ දැයි යන පැනයට කාලය විසින් නුදුරේ දී විසඳුම් සපයනු ඇත.

උපුල් තරංග

එක්දින ජාත්‍යන්තර තරග 218කට සහභාගී වී ඇති තරංග තරග 22ක දී කණ්ඩායමට නායකත්වය සපයා ඇත. ඉන් තරග 4ක් ජයගෙන ඇති ඔහුගේ නායකයකු ලෙස තරග ජය ගැනීමේ ප්‍රතිශතය 18%කි. තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 16ක් පරාජය වී ඇත.

උපුල් තරංග ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ කිරුල අහිමි කුමරු ලෙස හැඳින්වූවාට වරදක් නැත. සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් වැනි දැවැන්තයින් සමඟ උරෙන් උර ගැටී ක්‍රීඩාගාරය බෙදාගෙන අත්දැකීම් රැසකින් පරිපූර්ණ වුවත් අවාසනාව උපුල්ගේ දිවියට හරස් වූයේ වරක් දෙවරක් නොවේ.

පිට ඉන්නට මදක් ඉවතින් ගුඩ් ලෙන්ත් හි පතිත වන පන්දුවට මුහුණ දීමේ දී පැවති දුර්වලතාවය නිවැරදි කර නොගැනීම නිසා තරංගට අහිමි වූයේ තම ස්ථානය පමණක් නොවන බව ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස විමසිල්ලෙන් බලන ඇතැමෙකුට වැටහෙනු ඇත. තරංගගේ පසුබෑම, ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවෙක් ලෙස සාර්ථක වීම හා මැතිව්ස් තම ස්ථානය තහවුරු කර ගැනීම වැනි කරුණු නිසා නායකත්වයේ සේයා තරංග වෙතින් වියැකී ගියේ මින් කලකට පෙරය.

මීට ඉහත දී පා ඉන්න මත පතිත වන පන්දු ග්ලාන්ස් (Glance) කිරීමට ගොස් පන්දුව පා ආවරණවල දැවටීම හා පිට ඉන්නට මඳක් ඉවතින් පතිත වන කෙටි පන්දු වලට පිත්ත යොමුකර (Poke) කඩුලු රකින්නාට හෝ ස්ලිප් ක්‍රීඩකයන්ට උඩ පන්දු ලබා දී දැවී යාම තරංගගෙන් නිතර දක්නට ලැබුණ ද පසුගිය තරග කිහිපයේ දී පා ඉන්න මත පතිත වන පන්දු වලට ෆ්ලික් පහර හා පිට ඉන්නට ඉවතින් පතිත වන කෙටි පන්දුවට පුල් පහර එල්ල කරමින් දැවැන්ත හයේ පහරවල් ද සමඟින් ලකුණු රැස් කරනු දක්නට ලැබුණි. ඒ ඉනිම් දෙස බලා සිටීමේ දී හැඟී ගිය කරුණ නම් දැන් තරංග වෙනස් බව ය. ඔහු ආක්‍රමණශීලී ය. ඔහු තම අඩුපාඩු හඳුනා ගෙන ඇත. ඔහු දැන් පරිණතය.

ජාත්‍යන්තර පිටියේ තරංගගේ නායකත්ව දස්කම් ගැන කතා කළ යුතු තරම් දෙයක් නොමැති වුවද ඔහු නායකත්වය සැපයූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැඹුරු අගාධයක පතුලටම වැටී තිබුණු මොහොතක බව අප අමතක කළ යුතු නැත.

නව පුහුණුකරුවකු සමඟින් නව ගමනක් යෑමට තරංගට නොහැකි යැයි කිසිවකුට කිව නොහැක. මෙහි දී තරංගට ඇති වාසිදායක කරුණ නම් ඔහු මින් පෙර ද හතුරු සමඟින් පුහුණුවීම් සිදුකර ඇති නිසා ඔහුට හතුරු පිළිබඳවත්, හතුරුට තරංග පිළිබඳවත් යම් අවබෝධයක් පැවතීමයි.

ඉතින් තරංග නායකත්වයට පත්වේ ද? අපි බලා සිටිමු..

දිනේෂ් චන්දිමාල්

එක්දින ජාත්‍යන්තර තරග 134 කට සහභාගී වී ඇති චන්දිමාල් තරග 3ක දී කණ්ඩායමට නායකත්වය සපයා ඇත. ඉන් තරග 2ක් ජයගෙන ඇති ඔහුගේ නායකයකු ලෙස තරග ජය ගැනීමේ ප්‍රතිශතය 67%කි. චන්දිමාල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් පරාජය වී ඇත.

2010 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වූ චන්දිමාල් හට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් වූ අතර පසුගිය දා නිමා වූ ඉන්දීය සංචාරය සඳහා තෝරාගත් එක්දින සංචිතයට ද ඔහුව නම් කර තිබුණේ නැත. පාසල් ක්‍රිකට් පිටියේ ආනන්ද විදුහල් කණ්ඩායම මෙහෙයවා අත්දැකීම් ලබා ජාතික කණ්ඩායමට පිවිසි චන්දිමාල්ගේ එවක පිතිකරණ කුසලතා දුටු විචාරකයන් ඔහුව අරවින්ද ද සිල්වාගේ යළි ආගමනය ලෙස ද හඳුන්වන ලදි.

2012 වසරේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ උප නායකයෙකු වශයෙන් ද කටයුතු කළ ද ඔහුගේ හැකියාවට අනුකූලව දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම නිසා වරින් වර කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය.

චන්දිමාල් හට එක්දින කණ්ඩායම මෙහෙයවීමට අවස්ථාව ලැබුණේ ප්‍රබල දකුණු අප්‍රිකාණු කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවය. ඉන් දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙක ජයගන්නට ඔහු සමත් විය.

දැනටමත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ චන්දිමාල් හට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබා දීම, කටු ඔටුන්නක් පැළඳවීමක් වේ දෝ යි ඇතැමෙකුට සිතිය හැකි. නමුත් දැන් චන්දිමාල් ටෙස්ට් පිටිය තුළ තම දස්කම් ඔප් නංවාගෙන යම් පරිණත භාවයක් ලබාගෙන ඇති බව පැහැදිලිය.

කුමාර් සංගක්කාර, සුනිල් ගවස්කාර්, මයිකල් ක්ලාර්ක් වැනි ජ්‍යේෂ්ඨයන්ගේ අදහස නම් යම් ක්‍රීඩකයෙක්ට ටෙස්ට් පිටියේ දස්කම් දැක්විය හැකි නම් ඔහුට ඕනෑම තරග රටාවක දස්කම් දැක්විය හැකි බවයි.

ඉතින් එම තර්කය චන්දිමාල්ට ආදේශ කර බලන විට ඔහු එක්දින පිටියේ නායකත්වය සඳහා සූදානම්ය.. නමුත් එයට හතුරු හා පාලක මණ්ඩලය සූදානම් ද?

නිරෝෂන් දික්වැල්ල

එක්දින ජාත්‍යන්තර තරග 32කට සහභාගී වී ඇති දික්වැල්ල තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයා නැත. නමුත් ඔහු තම පාසල් ක්‍රිකට් දිවියේ නායකයකු ලෙස සුවිශේෂී දස්කම් දක්වන ලද ක්‍රීඩකයෙකි.

2011/2012 පාසල් ක්‍රිකට් තරග සමයේ දී මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් කණ්ඩායම අන්තර් පාසල් දෙදින ලීග් ශූරතාවය, අන්තර් පාසල් පිළිමළුන් පිටු දැකීමේ එක්දින තරගාවලිය මෙන්ම අන්තර් පාසල් 20/20 තරගාවලිය යන තරගාවලි තුනෙහිම ශූරතාවය දිනා ගන්නා ලද්දේ දික්වැල්ලගේ නායකත්වය යටතේය.

එපමණක් නොව 2012 වසරේ දී වසර 26කට පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහල හා පැවති මහා ක්‍රිකට් තරගය ජය ගන්නට නායකයෙකු ලෙස දික්වැල්ල සමත් විය. ඉතින් නායකත්වය දික්වැල්ලට අලුත් අත්දැකීමක් නොවේ.

නමුත් මේ ජාත්‍යන්තර පිටියයි. ඒ අභියෝගය සඳහා දික්වැල්ල සූදානම් ද? එම පැනය සැබැවින්ම තර්කයට බඳුන් වන එකකි. මන්ද දික්වැල්ලගේ ක්‍රීඩා රටාව දෙස බලා සිටින අයෙකුට හැඟී යන්නේ ඔහු වගකීම් විරහිතව පිතිහරඹයේ යෙදෙන පිතිකරුවෙකු බව නිසාය. ඔහුගේ දක්ෂතාවය පිළිබඳව සැකයක් නැත. ප්‍රශ්නය ඇත්තේ ඔහු තරගයට පිවිසෙන ආකාරයයි.

ඇතැම් විට නායකත්වය දික්වැල්ලට ලබා දීම ඔහුගේ මෙම නොසැලකිළිමත් බව මෙල්ල කිරීමට ඇති හොඳම මග විය හැකිය. නායකත්වයේ වගකීම තම හිස මත වැටීම නිසා ඔහු වගකීම් සහගතව ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතින අතර එය ඔහුගේ පුද්ගලික දස්කම් ඉහළ නංවා ගැනීමට ද රුකුලක් විය හැක.

සියලු ප්‍රවීණ මත පසෙක ලා හතුරු හා පාලක මණ්ඩලය දික්වැල්ල තෝරා ගනීවි ද?

මේ ක්‍රීඩකයන් අතරින් සැබැවින්ම නායකත්වයට වඩාත්ම සුදුසු යැයි ඔබ සිතන්නේ කවුරුන් ද? තීරණය ප්‍රේක්ෂක ඔබට භාරය. මිනුමක් වශයෙන් සැලකිය නොහැකි නමුත් ඔවුන් විසින් නායකයන් වශයෙන් දක්වා ඇති දස්කම් ඔබගේ පහසුව සඳහා සැකෙවින් පහත දක්වා ඇත.

නම නායකත්වය දුන් තරග ජය පරාජ ප්‍රතිශතය
ඇන්ජලෝ මැතිව්ස් 98 47 45 47%
උපුල් තරංග 22 4 16 18%
දිනේෂ් චන්දිමාල් 3 2 1 67%
නිරෝෂන් දික්වැල්ල

හතුරු, මේ ඇමතීම ඔබටයි.. ගමන බොහෝ දුරය.. දුෂ්කරය.. නිසි සගයෙක් නොමැතිව ගමන් කිරීම අපහසුය.. ඉදිරියේ ඇති කටු අකුල්, ගිරි දුර්ග තරණය කරන්නට ඔබට ගැළපෙන නායක මිතුරු සොයාගෙන පෙර ගමන් ගොස් ජය කෙහෙළි නංවන්නට Theapare.com අපගේ හද පිරි සුභාශිංසන.. 

Image courtesy
King- Maxpixel.freegreatpicture.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<