ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි අද (13) නොවැම්බර් 13 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.
එක්දින තරග පිටියේ අවසන් එක්දින තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරු ව දින 325කට පසුව තරග පිටියට එක් වෙන නවසීලන්ත ක්‍රීඩකයෝ මෙම තරගාවලියට එක්වෙන්නේ ශ්‍රී ලංකාව වසර 9ක් පුරා පරාජයට පත් කරමින් ලද අපරාජිත කිරුළ ද හිස තබා ගනිමිනුයි.
තරග කාලසටහන
1 වැනි එක්දින තරගය – නොවැම්බර් 13: රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
2 වැනි එක්දින තරගය – නොවැම්බර් 17: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
3 වැනි එක්දින තරගය – නොවැම්බර් 19: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
ශ්‍රී ලංකාව, නවසීලන්තය සමඟින් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 102කට මුහුණ දී ඇති අතර ඉන් තරග 52ක ජයග්‍රහණ නවසීලන්තය ද සහ තරග 41ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද දිනාගෙන තිබේ. අනෙකුත් තරග අතුරින් එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තරග 8ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මෙම තරග අතුරින් ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරන්නේ 2015 වසරේ දෙසැම්බරයේ Nelson හී පැවැති තරගයේදීයි. එතැන් සිට දෙරට ක්‍රීඩකයෝ තරග 9ක දී එකිනෙකා හමුව ඇති අතර එම තරග විසඳි ඇත්තේ නවසීලන්තයට තරග 8ක ජයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.
දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට එක්දින තරගයක දී හමුවෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසය ආරම්භයේදීයි. ලෝක කුසලාන තරගාවලියේ Bengaluru හි දී හමුවු එම තරගයේ දී නවසීලන්තය කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කරනවා.
එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින ජාත්‍යන්තර තරග 15කට එක් වූව ද නවසීලන්තය සහභාගී වී ඇත්තේ තරග 5කට පමණයි. එයිනුත් ඔවුන් මේ වසරේ කිසිදු එක්දින තරගයක් සඳහා සහභාගී වී නැහැ.
එසේ එක්වෙන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම 32 හැවිරිදි වියේ පසුවෙන Mitchell Santner හට හිමි වී තිබෙනවා. ඔහුට මෙවර එම වගකීම හිමිවෙන්නේ වසර 22කට පසුව වීම විශේෂත්වයක්. ඔහු මීට පෙර 2002 වසරේ දී ස්කොට්ලන්තයට එරෙහි ව නායකත්වය වගකීම දරා ඇති අතර එම තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ද ඔහුට හැකි වී තිබෙනවා.
පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන Mitchell Santner මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 104ක දී කඩුලු 107ක් ද දවාගෙන තිබෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 7ක දී ලබා ගත් කඩුලු 4ක් ද ඒ තුළ තිබෙනවා. පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ ගිණුමේ මෙතෙක් පවතින්නේ එක්දින ලකුණු 1355ක් පමණයි.
නවසීලන්ත කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් අතර මෑතකාලීන දක්ෂතා මත ඉදිරියෙන් සිටින්නන් අතර පළමු ස්ථානයට ලැයිස්තු ගත ව ඇත්තේ එක්දින තරග 31ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1244ක් ලබා සිටින ඉදිරි පෙළ පිතිකරු Will Young. ඔහුට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Glenn Phillips ද ඊට එක් වෙනවා. ඔහු මේ වෙද්දී එක්දින තරග 30ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 735ක් සහ කඩුලු 12ක් ලබා සිටිනවා.
පන්දු යවන්නන් අතුරින් මෑත කාලීන විශ්වසවන්ත ම නවසීලන්ත පන්දු යවන්නා වී ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන Jacob Duffy. නායක Mitchell Santner අභිබවා ඔහු ඉදිරියට පැමිණිය ද මේ දක්වා ඔහුගේ ගිණුමේ පවතින්නේ එක්දින කඩුලු 11ක් පමණයි.
ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන නවසීලන්ත ක්‍රීඩකයන් අතුර මෙතෙක් එක්දින පිටියේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ ඉදිරි පෙළ වමත් පිතිකරු Henry Nicholls. ඔහු තම තරග දිවියේ ඉනිමක වැඩිම ලකුණු ලබා තිබෙන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහි ව වීම විශේෂත්වයක්. මීට වසර 5කට ඉහත දී ලබා ගන්නා එම ශතකයත් (නොදැවී 124) සමඟින් ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2056ක්. ඒ සඳහා ඔහු තරග 75ක ඉනිම් 73ක් ක්‍රීඩා කර තිබෙනවා.
දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් 33 වැනි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Lockie Ferguson ද මෙම කණ්ඩායමට නම් කර තිබුණත් හදිසියේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහු නැවත නවසීලන්තය කරා පිටත් කර යැවුණ අතර ඒ වෙනුවට 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Adam Milne කැඳවා තිබෙනවා.
ඔහු ගේ තරග දත්ත ලැයිස්තුව එක්දින තරග 49ක දී කඩුල 57ක් ලෙසිනුයි සටහන් වෙන්නේ.
නවසීලන්ත සංචිතය:
Mitchell Santner (නායක), Michael Bracewell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Zak Foulkes, Dean Foxcroft, Mitch Hay (කඩුලු රකින්නා), Adam Milne, Henry Nicholls, Glenn Phillips, Tim Robinson, Nathan Smith, Ish Sodhi, Will Young.
- Lockie Ferguson නවසීලන්ත එක්දින සංචිතයෙන් ඉවතට
- ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රිත්ව කඩුලු පුරාණය
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
- මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 29ක්!
මෙම තරග සංචාරයේ දී ද සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර ඇති අතර ඔහු මෙම තරගයට එක් වෙන්නේ 7 වැනි වරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ කබාය පළදිමිනුයි. චරිත් මේ දක්වා තමන් නායකත්වය දුන් එක්දින තරග 6න් තරග 4ක ජයග්‍රහණත්, ලකුණු සම වූ තරගයක් සහ පරාජිත තරගයක් ලෙසත් එම තරග නිමා කර තිබේ.
මෙම සංචිතය සඳහා වසරකට පසුව නැවතත් කුසල් පෙරේරා කැඳවා තිබෙනවා. ඔහු අවසන් වරට එක්දින තරගයක් සඳහා එක් ව ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහි ව පැවැති Bengaluru තරගයටයි.
ඔහුත් දෙදෙනාත් සමඟින් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව සුපෝෂණය කිරීමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම මෙම සංචිතයට නම් කර තිබෙනවා. මොවුන් අතුරින් චරිත් අසලංක හැරුණුකොට තවත් පිතිකරුවෝ 5 දෙනෙක් පමණක් අද තරගයේ දී කණ්ඩායමට කැඳවෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
පන්දු යවන්නන්ගේ බලඇණියේ සුවිශේෂී ම ක්‍රීඩකයා ලෙසින් සිටි වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් විවේක ගන්නා තිබෙන අතර ඒ වෙනුවට මෙතෙක් එක්දින තරග 5කට පමණක් ක්‍රීඩා කර තිබෙන දුශාන් හේමන්ත සංචිතයට කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බලඇණිය තුළ දඟ පන්දු යවන්නන් කෙරෙහි විශේෂ බරක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බවක් දිස් වෙනවා. ඒ අනුව එම සංචිතයට මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නවක ක්‍රීඩකයා ලෙසින් දුශාන් හේමන්ත එක් කර ඇති අතර චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් වෙත ද එහි වගකීම් හිමි කර තිබෙනවා.
අද පස්වරුවේ කණ්ඩායම නම් කිරිමේ දී චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායම හා එක් වෙද්දී අනෙකුත් පන්දු යවන්නන් සිව් දෙනාගෙන් තිදෙනෙක් ම කණ්ඩායමට එක් කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වෙනුවෙන් ම සුසැදි තණතීරුවක් සකසා ඇති බවයි ක්‍රීඩාංගණ ආරංචි මාර්ග පවසන්නේ.
වේග පන්දු යවන්නන් ලෙසින් අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, මොහොමඩ් ශිරාස් සහ තවමත් එක්දින ජාත්‍යන්තර වරම් හිමි නොවූ චමිඳු වික්‍රමසිංහ සංචිතයට එක් කර තිබෙනවා. ඔවුන්ට අමතර ව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ජනිත් ලියනගේ ද මෙම සංචිතයේ රැඳී සිටින අතර ඔහු අනිවාර්යයෙන් ම කණ්ඩායම හා එක් වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. එසේ වීමේ දී වේග පන්දු යවන්නන් අතුරින් අද කණ්ඩායම හා එක් වීමට වරම් ලැබෙනුයේ පන්දු යවන්නෝ දෙදෙනෙක්ට පමණක් විය හැකියි.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට පවතින තත්ත්වයත් සමඟින් එක් වේග පන්දු යවන්නෙක් පමණක් උපයෝගී කර ගනිමින් වැඩි පිතිකරුවන් ප්‍රමාණයක් කණ්ඩායමට එක් කර ගැනීමේ ඉඩකඩ ද පැවැතිය හැකියි.
ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම, නිශාන් මධුශ්ක, දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක සහ මොහොමඩ් ශිරාස්.
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<