2015 සිට යම් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලානය සඳහා පිටත් වන්නේ තරගාවලියේ අවධානය අඩුවෙන්ම හිමි වූ කණ්ඩායමක් ලෙසයි. 

Photo Story: No කතා; කෙළින්ම විකට් එකේ!!

නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේ දී දරුණු පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ දී තියුණු සටනකට පසුව ඇෆ්ගනිස්තානය පරාජය කරන්නට සමත් විය. නමුත් ඊට පසුව ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය පරාජය වීම නිසාවෙන් තරගාවලියේ රැඳී සිටීමට නම් ඉතිරි තරග සියල්ලම පාහේ ජය ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ඒ අනුව ජුනි මස 21 වැනිදා ලීඩ්ස් හී හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන්නේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස විචාරකයන් හැඳින්වූ එංගලන්තය සමඟ තීරණාත්මක තරගයකට මුහුණ දීමටයි.

අද Photo Story ලිපිය වෙන් වන්නේ එම තරගයේ දී ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.

  1. බලාපොරොත්තු සුන් වූ ආරම්භය 

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් තරගාවලිය පුරාවට සාර්ථකම පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, කුසල් ජනිත් පෙරේරා ලකුණු දෙකකටත් පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.


  1. වැටුණු ඉනිමට පන දුන් අවිශ්කගේ ප්‍රහාරය

ආරම්භ පිතිකරු යුගලයේ ඉක්මන් දැවී යාමත් සමඟ, සිය මංගල ලෝක කුසලාන තරගයට අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ඉතා ආක්‍රමණශීලී සහ ප්‍රහාරාත්මක පිතිකරණ රටාවක් පෙන්නුම් කිරීමට සමත් විය. එංගලන්තය කණ්ඩායමේ වඩාත් කතාබහට ලක් වූ පන්දු යවන්නා වූ ජොෆ්රා ආචර් හට ඔහු එල්ල කළ ප්‍රහාරය විචාරකයන් පවා විශ්මයට පත් කරන්නට සමත් විය.

නමුත් සිය අර්ධ ශතකය අභියස දී අනවශ්‍ය පහරක් එල්ල කරමින් දැවී යන විට පන්දු 39ක් තුල ලකුණු 49ක් ඔහු විසින් රැස්කර තිබූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ද 62ක් දක්වා ඉහළ දැමීමට ඔහු සමත්ව තිබුණි.


  1. තරගයේ බර කරට ගත් මෙන්ඩිස්- මැතිව්ස් සුසංයෝගය 

අවිශ්කගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වූ කුසල් මෙන්ඩිස් තරමක ආරක්ෂාකාරී පිතිකරණයක් පෙන්නුම් කරමින් කෙමින් කෙමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය. 

මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 133ක් වන විට ඔයින් මෝර්ගන්ගේ දක්ෂ පන්දු රැකීම නිසාවෙන්, ලකුණු 71ක සම්බන්ධතාවක් අවසන් කරමින් කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 68ක් තුළ දී ලකුණු 46ක් රැස්කරමිනි.


  1. මැතිව්ස්ගේ සහයට ආ ධනංජය

කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු ඊළඟ පන්දුවේ දී ජීවන් මෙන්ඩිස් ලකුණක් නොලබාම දැවී යාමත් සමඟ නැවතත් අගාධයට වැටුණු ශ්‍රී ලංකා ඉනිම විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමට ධනංජය සිල්වා උත්සහා කළේ ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වෙමිනි.

ඒ අනුව තරගයේ හයවැනි කඩුල්ල සඳහා ලකුණු 57ක සබඳතාවයක් ගොඩනගමින් ලකුණු පුවරුව 190ක් දක්වා ඉහළ දැමීමට ඔවුන් දෙදෙනාට හැකි විය.

Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල


  1. ලීඩ්ස් හී නැවතත් සාර්ථක වූ මැතිව්ස්

ලීඩ්ස් පිටියේ කවදත් වාසනාවන්තයෙකු වූ, කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් තරගය පුරාවටම සියලු වගකීම් සිය මත උර මතට ගනිමින් පන්දු 115ක් තුළ නොදැවී ලකුණු 85ක් රැස්කිරීමට සමත් වූ අතර එම සටන්කාමී ඉනිමත් සමඟින් පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 232ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


  1. යෝකර් රජුගෙන් සාර්ථක ආරම්භයක්

එංගලන්තයට පහසු ඉලක්කයක් ලෙස විචාරකයන් හැඳින්වූ ලකුණු 232ක අභියෝගය හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාස්ටෝව ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 26ක් වන විට ලකුණු 14ක් ලබා සිටි ජේම්ස් වින්ස් ද පිටියෙන් ඉවත් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට මාලිංග සමත් විය.


  1. නායකයා හරවා යැවීමට රැක ගත් සුපිරි උඩපන්දුව

ප්‍රථම කඩුලු ද්විත්වයම ඉක්මනින් බිඳ වැටුණු පසුව කෙමින් කෙමින් ඉනිම ගොඩ නැගීමට එංගලන්ත නායක ඔයින් මෝගන් සහ ජෝරූට් සමත් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 73ක් වන විට, ලකුණු 21ක් ලබා ගනිමින් පන්දුවට පහර දුන් මෝගන්ට යොමු කළ පන්දුවකට එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස ග්‍රහණය කරගැනීමට ඉසුරු උදාන සමත් විය.


  1. තරගයේ ජය ප්‍රමාද කල ස්ටෝක්ස්-රූට් සම්බන්ධතාවය

මෝර්ගන්ගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස් හා එක්ව ඉතා හොඳින් ඉනිම ගොඩනැගීමට ජෝ රූට් සමත් වූ අතර ඔවුන් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවයක් ගොඩනගමින් තරගයේ වැඩි වාසිය එංගලන්තය දෙසට නැඹුරු කිරීමට උත්සහා දැරීය.

Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය


  1. ජය මාවත වෙනස් කළ මාලිංගගේ නැවත ආගමනය

කෙමින් කෙමින් තරගය තමන්ගෙන් ගිලිහෙනවා දුටු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නැවතත් පන්දු යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවීමට තීරණය කළේය. එම තීරණයට සාධාරණ ඉටු කරමින් ලකුණු 57ක් ලබා සිටි ජෝ රූට් පිටියෙන් ඉවත් කරමින් පැවති සබඳතාවය බිඳ දැමීමට මාලිංග සමත් විය.

එම කඩුල්ල ලබා ගැනීමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ මාලිංග ලකුණු 10ක් ලබා සිටි ජෝස් බට්ලර්ව ද දවා ගැනීමට සමත් වෙමින් තරගය නැවතත් දෙපිලටම විවර කර දෙන්නට විය.


  1. තරගයේ වැඩි වාසි ගෙන ආ ධනංජයගේ රන් හස්තය

බට්ලර්ගේ දැවී යාමෙන් පසුව ස්ටෝක්ස් සමඟ එක්වූ මොයීන් අලී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් තරගය ඔවුන් වෙත නතු කරගැනීමට උත්සහ කළේය. නමුත් ධනංජය සිල්වාගේ පන්දුවකට ඉසුරු උදාන රැක ගත් දක්ෂ උඩපන්දුව නිසාවෙන් මුළු ලකුණු සංඛ්‍යාව 170ක් වන විට හයවැනි කඩුල්ල ලෙස ලකුණු 16ක් ලබා සිටි අලී පිටියෙන් ඉවත් කිරීමට හැකි විය.

එම දවා ගැනීමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ සිල්වා ලකුණු අටක් තුළ පිළිවෙළින් ක්‍රිස් වෝක්ස් සහ ආදීල් රශීඩ්ගේ කඩුලු දවා ගැනීමට සමත් වෙමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට නතු කිරීමට සමත් විය.


  1. හදවත් නතර කෙරූ ස්ටෝක්ස්ගේ හුදකලා සටන

තරගයේ 9 වැනි කඩුල්ල ලෙස ජොෆ්රා ආචර් දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය. ඉන්පසුව ලසිත් මාලිංගගේ පන්දුවකට බෙන් ස්ටෝක්ස් විසින් ලබා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගියේය.

එතැන් පටන් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කිරීමට පටන් ගත් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට ගේන ඒමට සමත් වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ද හදගැස්ම මොහොතකට නතර කරමිනි.


  1. ඉතිහාසගත ජයක් තහවුරු කළ නිහඬ වෙඩික්කරු

උඩපන්දුවෙන් ජීවය ලැබීමෙන් අනතුරුව බෙන් ස්ටෝක්ස් එල්ල කළ ප්‍රහාරය නිසාවෙන් එංගලන්ත කණ්ඩායමට පන්දු 19ක් තුළ දී අවශ්‍ය වී තිබුණේ ලකුණු 21ක් පමණි.

එහි දී 47 වැනි පන්දුවාරය යොමු කළ නුවන් ප්‍රදීප් හට අවසාන පන්දුවේ දී එංගලන්ත අවසාන පිතිකරු ලෙස පිටියට පිවිසි මාක් වුඩ් හට පන්දු යැවීමට අවස්ථාව හිමි විය. මෙම පන්දුව ආරක්ෂා වූවා නම් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා යාමට බොහෝ ඉඩක් තිබුණි.

කෙසේ නමුත් තරගය පුරාම ඉතා සාර්ථක පාලනයකින් යුතුව පන්දු යවමින් සිටි නුවන් ප්‍රදීප් තමන්ට ලැබුණු අවස්ථාව සාර්ථක කර ගනිමින් වුඩ් දවා ගැනීමට සමත් වන්නේ ලෝක කුසලානය තුළ සිදු වූ පෙරළිකාරම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමිනි.

මෙම ජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව බොහෝ දෙනා තම අවධානය යොමු කිරීමට පටන් ගත් අතර තරගය පුරාවට කඩුලු 4ක් දවා ගත් ලසිත් මාලිංග හට තරගයේ වීරයා සම්මානය පිරිනමන ලදි.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<