ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවට පත්වුනු අතර එම තරගය කඩුලු 5කින් ජය ගත් නවසීලන්තය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
උදානට විදේශයෙන් විස්සයි විස්සකට ඇරයුම්!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඉසුරු උදාන දෙවන වරට පැවැත්වෙන…
කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කළත්, ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩපන්දු 3ක් අත්හරිමින් දැක්වූ දුර්වල පන්දු රැකීම මෙම පරාජය සඳහා ප්‍රධාන සාධකයක් විය.
ක්‍රීඩාංගණයට ඇදවැටුණු වර්ෂාවෙන් පසුව සවස 6.45ට ඉහළ නැගුණු කාසිය ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක මාලිංගට වාසිය හිමිකර දෙමින් පෙරළි ගියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා සතුවෙමිනි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. 4 පහර 2ක් සමඟින් පන්දු 10ක් තුල ලකුණු 11ක් වාර්තා කළ පෙරේරා, නායක ටිම් සවුති එවූ වේගය අඩාල කරන ලද ෆුල් ටොස් පන්දුවක් හමුවේ මිඩ් ඔෆ් කලාපයේ සිටි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.
අනතුරුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මිචෙල් සැන්ට්නර් අවස්ථාව ලබා නොදුන් අතර පන්දු 17ක දී ලකුණු 10ක් ලබා සිටි ප්‍රනාන්දු, ස්ටම්ප්ස් කිරීමකට හසුව ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9කුත් එක් පන්දුවක් අවසානයේ ලකුණු 68ක් ලබාගෙන සිටියේය.
මෙන්ඩිස් හා පිටියේ එක්වූ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක් තුල වේගවත් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවයේ ප්‍රධාන චරිතය බවට පත්වූ මෙන්ඩිස්, සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගැනීමට සමත් විය.
Video – අවිශ්ක ප්‍රනාන්දු පාසල් කාලයේ වැඩ පෙන්නුවේ මෙහෙමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල මෑත කාලීනව සොයාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින…
මිනිත්තු 72ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 53ක දී ලකුණු 79ක් වාර්තා කිරීමට මෙන්ඩිස් සමත් වූ අතර ඔහුගේ දැකුම්කළු ඉනිමට 4 පහර 8ක් හා ප්‍රේක්ෂකාරය වෙත එල්ල කළ දැවැන්ත 6 පහර දෙකක් ද ඇතුළත්ය.
කෙසේ නමුත් මෙන්ඩිස් ලකුණු 55ක් ලබාගෙන සිටිය දී ඉෂ් සෝදී වෙත උඩපන්දුවක් ලබා දුන් නමුත් නිසියාකාරයෙන් පන්දුව ග්‍රහණය කර ගැනීමට ඔහු අසමත් වීම මෙන්ඩිස්ට මෙවන් ඉනිමක් කරා යන්නට පිටිවහලක් විය.
ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක අඩිතාලමට නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක හා ඉසුරු උදාන යන මැදපෙළ පිතිකරුවන් විසින් හැකි උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කිරීමට සමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දු 23 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 43ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය. දික්වැල්ල ලකුණු 33ක් ලබා ගත් අතර දසුන් ශානක නොදැවී ලකුණු 17ක් ලබා ගත්තේය.
තරග සම කරන කලාවේ පිකාසෝ – තිලාන් සමරවීර
නවසීලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට…..
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ උදාන පන්දු 3ක් තුල 6 පහර දෙකක් සමඟ ලකුණු 15*ක් ලබා ගත්තේ සිය හැකියාවන් මනාව විදහා දක්වමිනි.
පන්දු යැවීමේ දී නායක සවුති ලකුණු 20කට කඩුලු 2ක් දවා ගන්නා විට, මිචෙල් සැන්ට්නර් කඩුල්ලක් දවා ගත්තේය.
ලකුණු 175ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මාර්ටින් ගප්ටිල් හා කොලින් මන්රෝගේ සබඳතාවය එක් ලකුණකට සීමා කරමින් මන්රෝ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට මාලිංග සමත් විය.
පළමු කඩුල්ල දැවී ගොස් පන්දු 16කට පසුව දකුණතින් දඟපන්දු යවන අකිල දනංජය ලකුණු 11ක් ලබා සිටි ගප්ටිල්ගේ කඩුල්ල ද බිඳ දැමූ අතර පළමු පන්දු 20ක් තුල නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය.
බිඳ වැටුණු නවසීලන්ත ලකුණු පුවරුව නැවත වතාවක් පණ ගැන්වීමේ මෙහෙයුම දියත් කළ රොස් ටේලර් හා කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 38ක් තුල ලකුණු 79ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවිය.
කෙසේ නමුත් ලකුණු 31ක් ලබා සිටි ටේලර් අකිලගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කලාපයේ සිටි දසුන් ශානක වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය රැකගැනීමට ශානකට නොහැකි විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙල්ල කිරීමට නොහැකි වුණු ටේලර් – ග්‍රෑන්ඩ්හෝම් සබඳතාවය 13 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී බිඳ දැමීමට මාලිංග සමත් වූයේ, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 99) බවට පත්වෙමිනි.
>> Photo Album – Sri Lanka vs New Zealand | 1st T20I <<
නවසීලන්තයේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගිය ග්‍රෑන්ඩ්හෝම් පන්දු 28ක් තුල වේගයෙන් ලකුණු 44ක් වාර්තා කළේ 4 පහර 4ක් හා 6 පහර දෙකක ආධාරයෙනි. නවසීලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවා වන ටේලර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 48ක් වාර්තා කළ නමුත් සිය මංගල විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ වනිඳු හසරංග ඔහුට අර්ධ ශතකයක් වෙත යාමට තිබූ අවස්ථාව අහුරාලන ලදි.
ටේලර් 6 පහර 2ක් හා 4 පහර 3ක් සමඟින් පන්දු 29ක දී එම ලකුණු 28 ලබා ගත් අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී ගියේය. ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව 144/5ක් (පන්දුවාර 14.5) ලෙස දිස්විය.
5 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව වුවත් සිය පිතිකරණ වේගය අඩු නොකළ ඩාර්ලි මිචෙල් හා සැන්ට්නර් පිළිවෙළින් ලකුණු 25*ක් හා ලකුණු 14*ක් වාර්තා කරමින් නවසීලන්තය දිනුම් කණුව කරා රැගෙන ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ලසිත් මාලිංග හා වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.
දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අනිද්දා (3) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතව ඇත.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<