තරග සම කරන කලාවේ පිකාසෝ – තිලාන් සමරවීර

259

නවසීලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් දිනය පුරාවට කඩුල්ල ආරක්ෂා කරගෙන තරගය බේරා ගත නොහැකි විය. මැදපෙළ පිතිකරණ ලැයිස්තුවේ “කඩ ඇණයක” තිබූ අඩුව එම තරගයේ දී හොඳින්ම ප්‍රදර්ශනය විය.

පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි

ගාල්ලේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ…

මින් වසර කිහිපයකට පෙර එවන් කඩ ඇණයක් අප සතු විය. මුල්පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන ශතක පිට ශතක වාර්තා කරන්නට ඒ කඩ ඇණය සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ගැලවී ගිය ඒ කඩ ඇණයෙන් හිස් වූ තැන පුරවන්නට තවමත් කිසිවකු සමත් වුණේ නැත.

තිලාන් සමරවීර..

වෙඩි උණ්ඩය පවා ඔහු ඉදිරියේ පරාජය විය. වෙඩි උණ්ඩයට පවා පරාජය කරන්නට නොහැකි වූ ඔහුගේ ආරක්ෂක බැම්ම ලොව පුරා පන්දු යවන්නන්ට නිදි වර්ජිත රාත්‍රියන් කීයක් නම් උදාකර දෙන්නට ඇතැයි ද දන්නේ ඒ පන්දු යවන්නන්ම පමණි. 

සමරවීරගේ විශේෂත්වය නම් ඔහු සතු වූ මානසික ඒකාග්‍රතාවයයි. පන්දු යවන්නන් ඔහු වෙත කුමන අයුරින් පන්දු යැව්වත්, ඔහු අසලට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදුනත් ඒ සියල්ලටම ඔහු පිළිතුරු දුන්නේ සිනහවකිනි. සිනහවකින් පිළිතුරු දී ඉන්පසුව පිත්ත ක්‍රියාත්මක කරවන්නට ද ඔහු අමතක කළේ නැත.

ලෝක පූජිත පිතිකරුවන් වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් වැනි ප්‍රභලයන් අඩු ලකුණුවලට දැවී ගිය අවස්ථාවල දී සමරවීර විසින් කණ්ඩායමේ පිතිකරණ බල ඇණියේ බර තමා වෙත පවරාගෙන කණ්ඩායම ඉදිරියට රැගෙන ගිය අවස්ථා ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැක.

© Cricket World

මම ඔබේ මතකය එක් සුවිශේෂී තරගයක් වෙත රැගෙන යමි.

2011 වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 84ක් ලෙස පවතින විට ය. අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසියේ තිලාන් සමරවීර යි. 

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හතර වැනි හා පස්වැනි කඩුලු පිළිවෙළින් ලකුණු 117 දී හා 162 දී බිඳ වැටෙද්දී සමරවීර තම අන්තය ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටියේය. ඉන් අනතුරුව අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක අගනා සම්බන්ධතාවයක් දියත් කිරීමට සමරවීර සමත් විය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ඔහු ලකුණු 102ක් රැස් කිරීමට සමත් වී සිටියේය. එය ඔහුගේ දහතුන් වන ශතකය ශතකයයි. එසේම ආසියානු කලාපයෙන් පිටත දී රැස් කළ දෙවන ශතකයයි. ඔහුගේ එම දායකත්වයත් සමඟින් පළමු ඉනිමේ ලකුණු 338ක් රැස් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරගයේ දෙවෙනි ඉනිමේත් සමරවීර ලකුණු 43ක් ලබා ගන්නට සමත් වූයේ  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 208ක සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දෙමිනි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය විය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ සමරවීර මෙම සංචාරයට එක් වූයේ ඊට පෙර පැවති ටෙස්ට් තරගාවලි කිහිපයේම කණ්ඩායමෙන් ඉවත් කර තැබීමට එවකට සිටි තේරීම් කමිටුව ක්‍රියා කර තිබූ පරිසරයකය. සමරවීරට මෙම ශතකය කෙතරම් හැඟීම්බර එකක් වූවාද කිවහොත් ශතකය රැස් කිරීමෙන් පසු තම පිත්තේ මිට ක්‍රීඩාගාරය දෙසට දිගුකර වෙඩි තබන අයුරින් රඟ දැක්වූවේ කා වෙනුවෙන් දැයි දන්නේ සමරවීර පමණි.

© Sunday times

තිලාන් සමරවීරගේ පිතිකරණ රටාව ප්‍රේක්ෂකයන් එතරම් ආසා කරන ආකාරයේ එකක් නොවේ. ඔහුගේ පිතිකරණය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩාංගණයක් පිරෙන්නේ නැත. එහෙත් ඔහු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් තුළ අනිවාර්යයෙන් සිටිය යුතු සාමාජිකයෙකි. ඒ ටෙස්ට් පිතිකරණයේ දී ඔහුගේ ඉවසීම සහ ස්ථාවර බව කණ්ඩායම තුලනය කිරීමේ වැදගත් සාධකයක් වන නිසාය. ඔහු වැන්නකුගේ අඩුපාඩුව පසුගිය දා අවසන් වූ නවසීලන්තයට එරෙහි දෙවෙනි ටෙස්ට් තරගයේ දී අපට හොඳින්ම වැටහුනි.

2001 වසර වන විට අරවින්ද ද සිල්වා සහ හෂාන් තිලකරත්නගේ විශ්‍රාම යාම සමරවීරට මැදපෙළට එකතුවන්නට ඉඩ සලසන ලදි. 2001 වසරේ දී ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගය තුළ දී ම ශතකයක් ලබා ගනිමින් ඔහු සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ක්‍රිකට් දිවිය ආරම්භ කරන විට පහර කිහිපයකට පමණක් සීමා වී අඩු ලකුණු රැස් කරගැනීමේ වේගයක් සහිතව පිතිකරණයේ යෙදුණ සමරවීර පසුව තම අඩුපාඩු හඳුනාගෙන ආක්‍රමණශීලී පහරවල් වැඩි වශයෙන් එල්ල කරමින් පහර දීමේ වේගය දියුණු කරගත්තේය. 

එය කෙතරම් සාර්ථක වී දැයි කිවහොත් 2011 වසරේ එක්දින ලෝක කුසලාන කණ්ඩායමට පවා ඔහුව නම් කෙරුනි. නමුත් ඉන් ඔහුගේ ඉවසිලිවන්තභාවයට කිසිදු බලපෑමක් ඇතිවුනේ නැත. එක්දින කණ්ඩායමට ඇතුළත් වුවද ටෙස්ට් තරගවල දී ඔහු තම සුපුරුදු මානසික ඒකාග්‍රතාවය හා තාක්ෂණය තුළින් පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ “කඩ ඇණය” ලෙසින් දිගින් දිගටම ක්‍රියා කළේ ය.

© BBC

එසේම ඉන් පෙර කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුහුණ දෙන්නට නොවූ විරූ ආකාරයේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට ද සමරවීරට සිදු විය. ඒ සිදුවීම නිසාම වෙඩි උණ්ඩයකට ජාත්‍යන්තර ජීවිතය අවසන් කිරීමට ඉඩ දුන් ක්‍රීඩකයෙකු වශයෙන් සමරවීර ඉතිහාසයට එක් වනු ඇත. ඔහු 2009 වසරේ මාර්තු මාසයේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ දී පැවති ටෙස්ට් තරගාවලිය තුළ අඛණ්ඩව ද්විත්ව ශතක දෙකක් රැස් කරමින් මනා රිද්මයකින් යුතුව ක්‍රීඩා කරමින් සිටියේය.

ලාහෝර් නගරයේ පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය සඳහා කණ්ඩායම ඔවුන් නැවතී සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා ගමන් කරමින් සිටින අතරතුර කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්තවාදීන්ගේ වෙඩි වරුසාවක් එල්ල වූ අතර ඉන් එක් වෙඩි උණ්ඩයක් සමරවීරගේ වම් කලවා ප්‍රදේශය පසාරු කරගෙන අඟල් 12ක් ගැඹුරට ඇදී ගියේය. එහි දී වහාම ඔහුව රෝහල් ගත කෙරුණ අතර වැදී තිබූ උණ්ඩ ඉවත් කිරීමට ඔහුට ශල්‍යකර්මයක් ද අවශ්‍ය විය. ඉන් සමරවීරගේ ජීවිතයට හානියක් නොවුනේ දෛවයේ හාස්කමකින් මෙන්ය.

ප්‍රහාරයෙන් සිදු වූ ශාරීරික හා මානසික තුවාල සමඟ මාස තුනක කාලයක් විවේකීව ගත කිරීමට සමරවීරට සිදු විය. ඉන් අනතුරුව 2009 වසරේ ජූලි මාසයේ දී ඔහු සිය 50 වැනි ටෙස්ට් තරගය සඳහා නැවත ක්‍රිකට් පිටිය වෙත පැමිණියේ වෙඩි උණ්ඩයකටවත් තමාව පරාජය කළ නොහැකි බව ඔප්පු කරමිනි.

ටෙස්ට් තරග 81ක් තුළ දී ශතක 14ක් සමඟින් ලකුණු 5462 ක් රැස් කිරීමට සමත් වූ මේ විශිෂ්ටයා ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ කඩ ඇණය ගලවා දමමින් 2013 මාර්තු මාසයේදී සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේ යළිත් පිරවිය නොහැකි හිඩැසක් ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ ඉතිරි කර තබමිනි..

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<