පාසල් රග්බි ලීගය දිනූ පුහුණුකරු හැව්ලොක් ක්‍රීඩා සමාජයට

520
Sanath Martis

‘Dialog’ රග්බි ලීග් තරගාවලිය ආරම්භයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉදිරි තරග වාරය සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස පාසල් රග්බි ලීග් තරගාවලිය ජයග්‍රහණය කළ සනත් මාටිස් මහතා පත්කරගනිමින් ඔවුන් මෙවර ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් තරග කරන බව තහවුරු කරන ලදි.

>> ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ ‘HUB’ වෙත පිවිසීම සඳහා <<

ඒ අනුව වර්තමාන රග්බි පිටිය තුළ සිටින දක්‍ෂතම පුහුණුකරුවන් අතරින් කෙනෙක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සනත් මාටිස් මහතා හට හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ශූරතාවය කරා මෙහෙයවීමේ නව අභියෝගය පැවරී ඇත. පසුගිය තරග වාරයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරන ලද්දේ රූනි ඊබ්‍රහිම් විසිනි.

මෙම වසරේ දී ඔහු කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය කරා මෙහෙයවන්නට සමත් වූ අතර ඔහු මේ වන විට සාන්ත පීතර විද්‍යාලය සමඟ ද වසර 3ක ගිවිසුමකට අත්සන් තබා ඇති බැවින් මෙම තරග වාරය තුළ ඔහු හට පුහුණුකරුවෙක් ලෙස විශාල වගකීමක් පැවරී ඇත.

ශ්‍රී ලංකාව තුළ රග්බි පුහුණුකරුවෙක් ලෙස වසර 22ක සේවය මෙම වසරේ දී සම්පූර්ණ කරන සනත් මාටිස් මහතා මෙරට ක්‍රීඩා සමාජ රග්බි පිටියට ආධුනිකයෙක් නොවේ. කෙසේ නමුත් සනත් මාටිස් මහතා හට හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔවුන්ව ශූරතාවයට මෙහෙයවීමට පැවරී ඇති වගකීම ඔහුට නවමු අත්දැකීමක් වනු ඇත.

පසුගිය වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය, ශූරතාවය දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාවට සමාන තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුවත් අතිරේක ලකුණු හේතුවෙන් ඔවුන්ට ශූරතාවය දිනා ගැනීමේ අවස්ථාව අහිමි විය.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සතුව ඉතා ශක්තිමත් ඉදිරිපෙළක් සිටින අතර කෙවින් ඩික්සන්, නිෂෝන් පෙරේරා සහ දුලාජ් පෙරේරා වැනි ක්‍රීඩකයින්ගේ සුසංයෝගය හරහා ඔවුන්ගේ පසුපෙළ ද ඉතා ශක්තිමත් වී ඇත. ඒ අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක් වන අතර සනත් මාටිස්ගේ ගුරුහරුකම් හමුවේ ඔවුන්ට තවත් ඉදිරියට යා හැකි බව නොඅනුමානය.

‘Dialog’ රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මස 03 වන දින ආරම්භ වන අතර එහි දී සනත් මාටිස් මහතාගේ පුහුණුකාරීත්වය හමුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජය කෙසේ ක්‍රීඩා කරයි ද යන්න සැවොම බලා සිටිනු ඇත.  

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<