කැනඩාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසු බසී

248

සිංගප්පූරුවේ පැවැත්වෙන Nations Cup 2023 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) කැනඩාව සමඟ පැවති තරගයෙන් ලකුණු 50-46ක පරාජයකට උරුමකම් කියන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් රැසක් ද ඇතුළත් වූ අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ දුලංගි වන්නිතිලක හටයි.

මෙම තරගය ආරම්භයේ සිටම කැනඩා ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල වූ අතර තරගයේ පළමු කාර්තුව ලකුණු 16-12ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුනා.

දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූවත්, තියුණු සටනකින් පසුව 14-12ක් ලෙස එම කාර්තුවේ පෙරමුණ ගැනීමට කැනඩා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 30-24ක් ලෙස පෙරමුණේ සිටියේ කැනඩාවයි.

තරගයේ තෙවැනි කාර්තුවේ පෙරමුණ ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර ඉතා තියුණු සටනක් දක්නට ලැබූ එම කාර්තුවේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 10-09ක් ලෙසයි.

තීරණාත්මක සිව්වැනි අවසන් වටය ලකුණු 12-11ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූවත්, ලකුණු 50-46ක් ලෙස ලකුණු 4කින් පෙරමුණේ සිටිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කැනඩා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය– කැනඩාව 50 – 46 ශ්‍රී ලංකාව

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද (23) සිංගප්පූරු A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි. එම තරගයේ ඇතුළු තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<