සෙබළුන් අතර ද්වන්ද සටනින් ජය යුද හමුදාවට

1494

මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් නිමා වූ යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර වොලිබෝල් තරගයෙන්, තරග වට 3/1ක් ලෙස ජයග්‍රහණය හිමි වූයේ යුද හමුදා ක්‍රීඩකයින් හටයි. මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ ප්‍රථම පිරිමි අවසන් පූර්ව තරගය ලෙස මෙම තරගය පැවැත්විය.

වරාය ක්‍රීඩිකාවන් පරාජය කරමින් යුද සෙබළියන් අවසන් මහා සටනට

2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පැවති දෙවැනි අවසන් පූර්ව…

යුද හමුදා ක්‍රීඩකයින් සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් අවසන් මහා තරගයට අසුන් ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසි අතර ඔවුන්ට ප්‍රේක්ෂකාගාරයෙන් ඉතාමත් උණුසුම් පිළිගැනීමක් හිමි විය. වොලිබෝල් පිරිමි තරගයක දැක ගත හැකි ඉතාමත් උද්වේගකර තරග විලාසය අඩුවක් නෑර ප්‍රථම වටය පුරාවටම පැවතුනි. ආරම්භයේ සිටම කරට කර ඇදී ගිය තරගයේ සෑම විටම ගුවන් හමුදා සෙබළුන් ඉදිරියෙන් පසු විය. කෙසේ නමුත් ප්‍රථම අර්ධය නිමා වූයේ 23-25ක් ලෙස ගුවන් හමුදාවට ජය ලබා දෙමිනි.

ගුවන් හමුදාව දෙවැනි අර්ධයේ දීත් පෙරමුණ ගැනීමට ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර යුද හමුදාවේ අසංක ලක්මාල් විසින් දෙවැනි වටයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ආරම්භයේ දී ලකුණු 3ක පමණ පරතරයක් පවත්වා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වූ නමුත් දෙවැනි වටයේ අවසානය වත්ම තත්වය වෙනස් වූයේ යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රාහී රිද්මය ග්‍රහණය කර ගැනීමත් සමඟයි. කෙසේ නමුත් ප්‍රථම අර්ධයට වඩා ලකුණු 2ක පරතරයක් සහිතව දෙවැනි වටය නිමා වූයේ 25-20ක් ලෙස යුද හමුදාවට ජය ලබා දෙමිනි.

MAS අභියෝග නොතකා ගුවන් සෙබළියන් අවසන් මහා තරගයට

ආරම්භයේ දී තරමක් අසාර්ථක වූ නමුත් ගුවන් හමුදා සෙබළියන් තරග වට 3/1ක් ලෙස…

ජයග්‍රාහී රිද්මය හඳුනා ගැනීමත් සමඟින් තෙවැනි වටයට පිවිසි යුද හමුදා ක්‍රීඩකයින් ආරම්භයේ සිට තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. යුද පිටියේ ද්වන්ද සටනකට සමාන වූ මෙම තරගයේ වරෙක ලකුණු සමවෙමින් ද වරෙක ලකුණක දෙකක පරතරයකින් යුක්තව තරගය ඉදිරියට ගලා ගියේය. මෙම වටයේ අවසන් කොටසේ දී 24-22ක් ලෙසින් පෙරමුණ ගැනීමට යුද සෙබළුන් සමත් වූ අතර තෙවැනි වටය අවසන් වූයේ 25-23ක් ලෙස යුද හමුදාවට ජය හිමි කර දෙමිනි.

තීරණාත්මක සිව්වැනි වටයේ දී යුද හමුදාව අභිබවා යමින් තරගය වට 5ක් දක්වා ඇදගෙන යාමට ගුවන් හමුදා ක්‍රීඩකයින් වෙර දරණ බවක් දක්නට ලැබුණි. ආරම්භයේ දී ම යුද සෙබළුන් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළ නමුත් ගුවන් සෙබළුන් වරක 6-9ක් ලෙස පෙරමුණ ගත්තේය. කෙසේ නමුත් යුද සෙබළුන් තරගයේ ජයග්‍රාහී රිද්මය ගිලිහි යාමට ඉඩ නොදෙමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් හඹා ගිය අතර සිව්වැනි වටය නිමා වන විට ලකුණු 5ක පරතරයක් සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට අද (10) යුද හමුදා සෙබළුන් සමත් විය.

තරගය පුරාවටම දක්ෂ ලෙස සටන් කළ යුද හමුදා ක්‍රීඩක මහේෂ් චන්ද්‍රකුමාර යුද හමුදාව වෙනුවෙන් සෑම විටම ලකුණු දිනා දුන් ක්‍රීඩකයෙකු බව සඳහන් කළ යුතුයි.

ලකුණු තත්වය.

යුද හමුදාව (23-25, 25-20, 25-23, 25-20) ගුවන් හමුදාව

සුපර් ලීග් කාණ්ඩයේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. එම තරගයේත් සජීව විකාශය සඳහා රැඳී සිටින්න අප සමඟින්ම.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<