පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමට Muay Thai තරගාවලියක්

කාන්තා Muay Thai තරගාවලිය 2023

119

ලෝක බොක්සිං කවුන්සිලයේ (WBC) ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා Muay Thai සංගමය එක්ව “Pink is stronger than you think” තේමාව යටතේ කාන්තා Muay Thai තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.

පුණ්‍ය කටයුත්තක් ලෙස සංවිධානය වෙන මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම මහරගම අපේක්ෂා රෝහලේ පියයුරු පිළිකා අංශයට පරිත්‍යාග කිරීමට සැලසුම වී තිබෙනවා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා සටන්කරුවන්ට වෘත්තීය ක්‍රීඩා තරගාවලි ලබා ගැනීමට දොරටු විවර වීමක් වන අතර තරගාවලිය අප්‍රේල් 29 වැනිදා සවස 4.30 සිට රාත්‍රි 8.30 දක්වා රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් WBC ශ්‍රී ලංකා සංගමයේ සභාපති රොෂාන් දුමින්ද මහතා මෙය තහවුරු කළා.

WBC ශ්‍රී ලංකා සංගමය ප්‍රධාන සංගමයේ කොටසක් ලෙස 2020 වසරේ දී ආරම්භ කළ අතර කෙටි කාලයක් තුළ කොරෝනා වසංගතය මධ්‍යයේ වුනත් අපි මේ ක්‍රීඩාව ලංකාව තුළ ව්‍යාප්ත කළා.

වර්තමාන පරම්පරාව UFC, One Championship සහ මිශ්‍ර සටන් කළා කෙරෙහි ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසා මේක මේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හඳුන්වා දෙන්න විශාල අවස්ථාවක්.

අපිට ලෝකේ හොඳම මට්ටමේ සටන්කරුවන් කිහිප දෙනෙක්ම පිරිමි කාණ්ඩයේ ඉන්නවා. එය අපි කරලා තියෙන්නේ අවම පහසුකම් යටතේයි. අපිට හරියට ක්‍රීඩා කරන්න, පුහුණුවෙන්න ස්ථානයක් සහ අවශ්‍ය උපකරණ නැහැ. ඒ නිසා අපිට ජාත්‍යන්තර තලයට යන්න අනුග්‍රාහකයින් අවශ්‍යයි,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

WBC ශ්‍රී ලංකා යනු එහි ජාත්‍යන්තර සංගමය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර මෙම සංගමයේ ප්‍රධාන අරමුණක් වන්නේ ආදායමක් ලබා ගැනීමට හැකි පරිදි වෘත්තීය සටන් ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි යටිතල පහසුකම් ගොඩ නැගීමයි.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා එක් වන අනෙක් සංගමය වන ශ්‍රී ලංකා Muay Thai සංගමය ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සංගමයක් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<