පන්දුවට පහර දෙද්දී ගොඩක් හිතන්න එපා, සැලසුම් අසාර්ථක වෙනවා – Dhoni

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3592

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (10) ආරම්භ වුනා. පළමු අවසන් පූර්ව තරගය සඳහා Chennai Super Kings සහ Delhi Capitals තරග වැදුණු අතර එම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Chennai Super Kings සමත් වුනා.

තරගයේ එක් අවස්ථාවක දී Chennai Super Kingsට ජයග්‍රහණය තරමක් අපහසු මට්ටමකට පැමිණ තිබුනත්, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම තරග නිමාකරන්නා (Best Finisher) හෙවත් MS Dhoniගේ ආගමනයත් සමඟින් තරගයේ අණසක තමන් සතුකර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට Chennai කණ්ඩායම සමත් වුනා.

මෙවර තරගාවලිය තුල එතරම් දස්කම් දැක්වීමට සමත්නොවූ MS Dhoni මෙම තරගය තුළ සිය වගකීම අකුරටම ඉටුකිරීමට සමත් වීම කැපී පෙනුණා. MS Dhoni පන්දු 6කින් ලකුණු 18ක් වාර්තා කරමින් Chennai Super Kings ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හත්වැනි අවසන් තරගයට කැඳවා ගෙන යාමට සමත් වුනා.

“මම මේ තරගාවලියේ දී එතරම් සාර්ථක වුනේ නැහැ. මේ නිසා මට ඕනේ වුනා පන්දුව හොඳින් අධ්‍යනය කරලා පන්දු යවන්නා කරන්න උත්සාහ කරන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න. මම පුහුණුවීම්වල දී හොඳින් පන්දුවට පහර දුන්නා. ඒත් මම එතරම් හිතුවේ නැහැ. මම හිතන්නේ පන්දුවට පහරදෙද්දී ගොඩක් හිතන්න ගියොත් අපේ සැලසුම් අසාර්ථක වෙනවා”, තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් MS Dhoni පවසා සිටියා.

එහි දී Delhi Capitals කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ ප්‍රබලත්වය පිළිබඳව ද MS Dhoni අදහස් දක්වා තිබුණා.

“මගේ ඉනිම තීරණාත්මක එකක් වුනා. Delhi Capitals කණ්ඩායමට ඉතාමත් ප්‍රබල පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන් ක්‍රීඩාංගණයේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන හිටියා. අපි දැනගෙන හිටියා තරගය අමාරු එකක් කියලා. මගේ සැලසුම ඉතාමත් සරල එකක්. පන්දුව හොඳින් බලන්න, පහරදෙන්න.”

Chennai Super Kings වෙනුවෙන් මෙවර තරගාවලිය තුල කැපී පෙනෙන කාර්‍යභාරයක් ඉටු කිරීමට Ruturaj Gaikwad සමත් වුනා. ඊයේ පැවති තරගයේ දී ද වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ඔහු සමත්වුනේ පන්දු 50 කින් ලකුණු 70 ක් වාර්තා කරමින්. තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා. තම කණ්ඩායමේ නවතම තරුව පිළිබඳව අදහස් දක්වමින් MS Dhoni පවසා සිටියේ තමන් සහ Ruturaj නිතරම කතාබහ කරමින් සැලසුම් සකස් කරන බවයි.

“මම සහ Ruturaj කතා කරන හැමවෙලාවකම ඒක ඉතාමත් සරල කතාබහක් වෙනවා. මට ඕනේ වුනේ ඔහු හිතන්නේ කොහොමද කියන එක දැනගන්න. ඔහු ගොඩක් දියුණු වෙලා ඉන්නේ. ඔහු පන්දුවාර 20 ම වුනත් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්.”

ඊයේ තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩක Shardul Thakur හට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා දීමට Chennai කණ්ඩායම තීරණය කර තිබුණා. ඒ අනුව ඔහු අංක 4 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළත් එය සාර්ථක වුනේ නැහැ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් MS Dhoni පවසා සිටියේ Shardulගේ උසස් වීම මඟින් ඔහු බලාපොරොත්තු වුනේ වේගවත් ලකුණු කීපයක් ලබා ගැනීම බවයි. අවශ්‍ය ලකුණු සහ පන්දු අතර වෙනස 15-20ත් අතර සංඛ්‍යාවක් තිබිය දී වේගවත් ලකුණු කීපයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබුණා.

Shardulට හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවන්. Deepak Chahar වගේ. ඔහු හෝ ඔවුන්ට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා දුන්නොත් ආරම්භක පිතිකරුවන් වගේ නැතිව ඔවුන් පළමු පන්දුවේ ඉඳන්ම ලොකු පහරවල් වලට යන්න පෙලඹෙනවා.”

ඊයේ තරගය අතරතුර Chennai කණ්ඩායම විසින් තවත් වෙනස්කමක් සිදු කර තිබුණා. ඒ වෙනත් තරගවල දී අංක 3 ක්‍රීඩා කරන Moeen Aliගේ ස්ථානය Robin Uthappa වෙත ලබා දීමයි.

Robin ඉතාමත් කැමැත්තෙන් හිටියා අංක 3 ක්‍රීඩා කරන්න. නමුත් Moeen අංක 3 විදිහට සාර්ථක වුන ක්‍රීඩකයෙක්. අපිට ඕනේ වුනේ ඔවුන් දෙදෙනාටම අංක 3 ක්‍රීඩා කරන්න පුළුවන් පසුබිමක් හදන්න. අපේ ප්‍රතිවාදීන් අනුව ක්‍රීඩකයා වෙනස් කරන්න හැකියාවක් ලැබෙනවා.”

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මූලික වටයෙන් ඉවත් වීමට Chennai කණ්ඩායමට සිදු වුනා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු වතාවටයි. එම තරගාවලිය අසාර්ථක වීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි වූ බව MS Dhoni පවසා සිටියා. තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී Ruturaj Gaikwad ලකුණු 600 සීමාව පසුකරයාම එයට ප්‍රබල උදාහරණයක් වන බව ඔහුගේ මතයයි.

“අපි පසුගිය තරගාවලියේ දී පළමු වතාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ. එහි දී අවසන් තරග 4-5 වගේ තුළ අපි අපේ පිතිකරුවන් මාරු කරමින් ඔවුන්ට සාර්ථක වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. මම හිතන්නේ මේ තරගාවලියේ දී සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව වුනේ ඒක.”

ඊයේ ජයග්‍රහණයත් සමඟින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා මුලින්ම පිවිසි කණ්ඩායම බවට Chennai කණ්ඩායම පත්වුනා. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය අද (11) Royal Challengers Bangalore සහ Kolkata Kinght Riders අතර පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<