LPL දෙවැනි අදියරට ගේල් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

1240
Lanka Premier League 2021

මංගල තරගාවලියෙන්ම අතිශය ජනප්‍රියත්වයට පත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ වුන අතර ඔක්තෝබර් 07 වැනිදායින් එය අවසන් වුනා.

20-20 තරග රටාවේ දැවැන්ත චරිතයක් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 20-20 ශ්‍රේණිගත කිරීම්හි අංක 1 පිතිකරුවා බවට පත්ව සිටින එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් ද මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

ඊට අමතරව ඇන්ඩ්‍රෙ රසල්, පාකිස්තානයේ සුපිරි පිතිකරු ෆකාර් සමාන්, ශහිඩ් අෆ්රිඩි, ඕස්ට්‍රේලියාවේ ජේම්ස් ෆෝල්ක්නර්, එංගලන්තයේ ලුක් රයිට්,  ලියම් ප්ලන්කට්, ස්ටීවන් ෆින්, අදිල් රශීඩ්, බංග්ලාදේශයේ මහමුදුල්ලා, දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වයින් ස්මිත්, නවසීලන්තයෙන් මිචෙල් මැක්ලෙන්හම් සහ සිම්බාබ්වේ සිකන්දර් රාසා යන ක්‍රීඩකයෝ දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි ක්‍රීඩකයින් අතර පසුවෙනවා.

කලක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ පතන් සොහොයුරන්ගෙන් ගිය වසරේ කැන්ඩි ටස්කර්ස් නියෝජනය කළ ඉර්ෆාන් පතන් ද මෙවර තරගාවලිය සඳහා ඉදිරි පත්වීමේ සූදානම් පසුවනවා. ඔහුගේ සොහොයුරු යුසුෆ් පතන් ද මෙවර තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචිව සිටිනවා.

දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමේ අපේක්ෂාවෙන් විවිධ රටවල ක්‍රීඩකයින් 699ක් අයැදුම් පත් යොමු කර තිබෙන අතර ඒ අතරින් ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player draft)  සඳහා 225 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.

LPL. තරගාවලියේ දී කණ්ඩායමකට තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක් වන අතර තරගයකට උපරිම වශයෙන් ක්‍රීඩා කළ හැක්කේ සිව් දෙනෙකුට පමණයි. ඒ අනුව LPL. දෙවැනි අදියර නියෝජනය කිරීමට වරම් හිමිවන්නේ ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.

කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පවත්වන ලද පළමු LPL තරගාවලිය තරග 23කින් සමන්විත වූ නමුත් මෙවර තරගාවලියේ දී දෙවැනි වටය වන කඩඉම් වටය සඳහා එලිමිනේටර් (Eliminator) තරගයක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම හේතුවෙන් සමස්ත තරග සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවර තරගාවලියට සහභාගි වීම සඳහා ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් මෙසේයි.

  • සිම්බාබ්වේ – සිකන්දර් රාසා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්.
  • බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වයින් ස්මිත්, දිනේෂ් රාම්ඩීන්, රොස්ටන් චේස්, ජොන්සන් චාල්ස්, කෙමා රෝච්, ෂායි හෝප්, කිරන් පවෙල්, රඛීම් කෝන්වෙල්, ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ජොන්සන් චාල්ස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ෆේබියන් ඇලන්, චැඩ්වික් වෝල්ටන්, ඇන්ඩ්‍රෙ රසල්, ලෙන්ඩ්ල් සීමන්ස්, ජෙරම් ටේලර්, කාලෝස් බ්‍රැත්වේට්, ශිම්රන් හෙට්මේයර්, අල්සාරි ජෝෂප්.
  • බංග්ලාදේශය – මෙහෙදි හසන්, සොහාග් ගාසි, ශෆියුල් ස්ලාම්, අෆීෆ් හොසේන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කේස්, එබොදත් හොසේන්, මහමුදුල්ලා.
  • පාකිස්තානය – අන්වර් අලී, මොහොමඩ් හෆීස්, ෆකාර් සමාන්, මොහොමඩ් ඉර්ෆාන්, අහමඩ් ෂේසාඩ්, සොහෙල් ටන්වීර්, ඉමාම් උල් හක්, උමර් අක්මාල්, කම්රන් අක්මාල්, ශෆ්‍රාස් අහමඩ්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි, හැරිස් සොහෙල්, ශහිඩ් අෆ්රිඩි, ෂොයෙබ් මලික්, මොහොමඩ් අමීර්, හසන් අලී, වහාබ් රියාස්.
  • දකුණු අප්‍රිකාව – බියෝන් ෆෝර්ටේන්, රිචර්ඩ් ලෙවී, වේන් පානෙල්, ඩ්වේන් ඔලිවර්, ඉම්රාන් තහීර්, ෆෆ් ඩු ප්ලෙසිස්, රාසි වැන්ඩර් ඩසන්, මෝර්න් මෝකල්.
  • ඉන්දියාව – යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන්, විනේ කුමාර්.
  • ඕස්ට්‍රේලියාව – ජේම්ස් ෆෝල්ක්නර්, ක්‍රිස් ලින්.
  • එංගලන්තය – ලොරී එවන්ස්, ලුක් රයිට්, ලියම් ප්ලන්කට්, ඩෑන් ලෝරන්ස්, සමිත් පටෙල්, ස්ටීව් ෆින්, ඩේවිඩ් මාලන්, අදිල් රශීඩ්, සෑම් බිලිංග්ස්, ඔලී රොබින්සන්, රවී බොපාරා.
  • නවසීලන්තය – මිචෙල් මැක්ලෙන්හම්, නීල් බෲම්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<