බංග්ලාදේශ ක්‍රීඩකයින් තෝරාගැනීම WhatsApp ඔස්සේ

212

පවතින COVID-19 වසංගත තත්වය හමුවේ බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට WhatsApp ඔස්සේ සිය දස්කම් දැක්වීමට සිදු වී තිබෙනවා. ඒ සුපුරුදු ලෙස තෝරා ගැනීම් පවත්වන්නට තරම් බංග්ලාදේශයේ තත්ත්වය තවමත් යහපත් නැති නිසයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු වතාවට ක්‍රියාත්මක වන එම වැඩසටහන පිළිබඳව පසුගිය අඟහරුවාදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම වැඩසටහන සඳහා බංග්ලාදේශ එක්දින නායක තමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම් හා 19න් පහළ ලෝක කුසලානය දිනූ බංග්ලාදේශ නායක අක්බර් අලී ද සම්බන්ධව සිටිනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩා සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන ඒ. ඊ. එම්. කස්වර් මහතා පැහැදිලි කර සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ ලෙස එක් දිස්ත්‍රික්කයකට WhatsApp සමූහයන් තුනක් සාදා ඇති බවත්, ඒවාට වීඩියෝ පට ලැබුණු පසුව පුහුණුකරුවන් එක් එක් වයස් කාණ්ඩයට එක් එක් දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයින් 35-40ක් අතර සංඛ්‍යාවක් තෝරා ගනු ඇති බවත්ය.

ඉන්පසුව මේ ක්‍රීඩකයින් සුපුරුදු ලෙස තේරීම් තරගාවලියකට මුහුණ දෙන අතර එතැනින් එක් එක් වයස් කාණ්ඩවලට අයත් ක්‍රීඩකයින් 15ක් බැගින් තෝරා ගනු ලැබේ.

තවත් ක්‍රිකට් පුවත්:

“මීට පෙර තෝරා ගැනීම් තිබුණේ මුහුණට මුහුණයි” කව්සර් මහතා පවසා තිබුණා. “දරුවන් 500කට වැඩියෙන් ඒවාට සහභාගී වුනා. නමුත් වත්මන් තත්වය යටතේ ඒ දෙය කරන්නට හැකියාවක් නැහැ. සෞඛ්‍යාරක්ෂිත වීමත් වැදගත් ඒ වගේම ක්‍රීඩකයින්ගේ සංවර්ධනයත් අපි කොහොම හරි කරන්න ඕනේ.”

“අපිට කොච්චර වීඩියෝ පට ලැබුනත් අපි මූලික වශයෙන් තෝරා ගන්නේ වයස අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩයට එක් දිස්ත්‍රික්කයකින් 40 බැගින් හා වයස අවුරුදු 16න් හා 18න් පහළ වයස් කාණ්ඩයට එක් දිස්ත්‍රික්කයකින් 35ක් බැගිනුයි. ඉන්පසුව මේ ක්‍රීඩකයින් ඔවුන්ගේ දිස්ත්‍රික්කවලම තේරීම් පරීක්ෂණවලට මුහුණ දෙයි.”

“මේ ක්‍රීඩකයින් 35-40ත් අතර ප්‍රමාණයෙන් පුහුණුකරුවන් විසින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරා ගනියි. ඉන්පසුව වයස් මට්ටම තහවුරු කිරීම හා වෛද්‍ය පරීක්ෂණය පවත්වන්නට නියමිතයි. වසංගත තත්වය යහපත් වූ වහාම අපි වයස් කාණ්ඩ තරගාවලි පවත්වන්නට සූදානම්.”

“ඉක්බාල්, රහීම් හා අලී යොවුන් ක්‍රීඩකයින්ට තමන්ගේ ජංගම දුරකථනවලින් වීඩියෝ සකසන ආකාරය පිළිබඳව කෙටි දැනුවත් කිරීමේ වැඩසටහනක් කර තිබුණා. පිතිකරුවන් හා කඩුලු රකින්නන්, විනිසුරු සිටින ස්ථානයේ සිට වීඩියෝව සකස් කළ යුතු අතර පන්දු යවන්නන් කෝණ තුනක සිට සිය පන්දු යැවීමේ ඉරියව්ව වීඩියෝගත කළ යුතුයි.

ඩකා දිස්ත්‍රික්කය තවත් උප කොටස් අටකට බෙදා තිබෙනවා. ඒ තුළ ක්‍රිකට් ඇකඩමි 85ක් පමණ තිබෙනවා. අපි මේ තරගාවලියෙන් ඩකා මෙට්‍රොපොලිස් කණ්ඩායම තෝරා ගන්නට බලාපොරොත්තු වෙනවා.”

Cricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<