අසේල ගුණරත්න නැවතත් ක්‍රිකට් පිටියට

1413

ලංකන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ‘SLC Premier Emerging League’ තරගාවලිය යටතේ පනාගොඩ දී පැවති තරගයක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඉතා හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව සනාථ කිරීමට සමත් විය.  

මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටනේ ඇතුලාන්තය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය…

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී අතේ ආබාධයකට ලක්වූ අසේල, මේ වන විට සම්පූර්ණයෙන් ඉන් සුවය ලබා සිටියත් ඔහු ඉහළ ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම නිසා ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් කරනු නොලැබීය.

“අසේල මේ වන විට සුවය ලබලා සිටින්නේ. කෙසේ නමුත් ඔහු මාස තුන හමාරක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. අපි ලෝකේ හොඳම කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන කොට අපිට අවශ්‍යයි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය උපරිම දක්‍ෂතා අතර සිටීම. සියලු දේවල් හොඳින් වුණොත්, ඔහු එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරයි.”

ඒ පිළිබඳව අදහස් දක්වමින් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මීට පෙර පැවසීය.

මෙම තරගයේ දී අසේල, ඔහු යොමු කළ පන්දුවාර 10 තුළ ලකුණු 43ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. මෙහි දී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක තරිඳු දර්ශන කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද හමුදා කණ්ඩායම තරගයේ අවසානය සනිටුහන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 139ක් ලබාගැනීමට සමත්ව සිටි අතර එහි දී අසේල පන්දු 20කදී ලකුණු 17ක් ලබා සිටිය දී වමත් දඟපන්දු යවන ක්‍රීඩක නවීන් කවිකාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. නවීන් මෙහි දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ලංකන් CC – පන්දුවාර 53.3කදී සියලු දෙනා දැවී ලකුණු 200: සජන ද සිල්වා 56, ශමීර වීරසිංහ 47, ගීත් කුමාර 32, මෙත්සිත් ජයමාන්න 19, තරිඳු දර්ශන 5/25, ගීතාල් ප්‍රනාන්දු 3/28

යුද හමුදා SC – පන්දුවාර 33කදී 139/6: සංජික රිද්ම 24*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, තුලින දිල්ෂාන් 34, සිතුම් පීරිස් 19, අසේල ගුණරත්න 17, නවීන් කවිකාර 4/25    

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න