මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටනේ ඇතුලාන්තය

1566
SLvIND 1st PRE 2017

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී ආරම්භ වේ. 

ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන..

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ, ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි. පසුගිය දා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.  

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 41ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 19ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවද එයින් තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ඉන්දියාව තුල තරග 17ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාවට එයින් එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇත්තේ තරග 10ක් පරාජයට පත් වෙමිනි.

හිටපු නායකයාට අලුත් තැනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට්..

දෙපිලේම ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා, ජාත්‍යන්තර ටෙස්ට් තරග 44ක් තුල ඉනිම 86ක දී ලකුණු 3060ක් ලබාගෙන ඇත්තේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 36.86ක් වැනි මට්ටමක තියාගනිමිනි. මෙම තරගයේ දී කරුණාරත්නගේ ඉනිම ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 7කින් හා අර්ධ ශතක 13කින් ජාත්‍යන්තර පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 29.33ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත.

විරාත් කෝලි

Sri Lanka vs Indiaඉන්දීය කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල පරිණත ක්‍රීඩකයෙකු ලෙස මැදපෙළ සවිමත් කරන නායක කෝලි, ජාත්‍යන්තර ටෙස්ට් තරග 60ක දී ඉනිම 101ක් සඳහා සහභාගි වී ඇත. 56.01ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන කෝලි, මේ වන විට ටෙස්ට් ලකුණු 4658ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 14ක් හා ශතක 17ක් ඇතුළත් වන අතර, ද්විත්ව ශතක 4ක් ද ඒ අතරට අයත්ය. යම් හෙයකින් කෝලි අර්ධ ශතකයක් වෙත ගියහොත් ශතකයක් වෙත යාමට වැඩි ඉඩකඩක් ඇත.

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළට නියමාකාරයෙන් ගැළපෙන මේ පරිණත දකුණත් පිතිකරුවා, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 69ක දී ඉනිම 122කට තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 4718ක් රැස්කර ගෙන ඇත්තේ 44.93ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

තවද ඔහු ශතක 7ක් හා අර්ධ ශතක 27ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී වාර්තා කර ඇති අතර, ඉන්දියාවට එදිරිව නිමා වූ ටෙස්ට් තරගාවලිය තුල දී ද ලකුණු 182ක් ලබා ගත්තේය. තවද ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 38.05ක් වැනි සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හැකිව තිබේ. ඔහු මෙම තරගාවලියට අවතීර්ණ වෙන්නේ පාදයේ ඇතිවූ ආබාධ තත්වය සුව වීමෙන් පසුවයි. කෙසේ නමුත් වාර්තා වන අන්දමට ඔහු මෙම සංචාරයේ දී පිතිකරණයේ සහ පන්දු රැකීමේ පමණක් නිරතවනු ඇත.

ශිකර් ධවාන්

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කලක පටන් තම වගකීම ඉටු කළ මොහු, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 26ක දී ඉනිම 43කට සිය දායකත්වය දක්වා ඇති අතර ලකුණු 1822ක් ලබාගෙන ඇත්තේ ලකුණු 43.38ක පමණ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ධවාන්ගේ එම ලකුණු අතරට ශතක 6ක් හා අර්ධ ශතක 3ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණයකට ඉක්මනින්ම මාරු වීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකු ලෙස මොහුව හැදින්වීමට හැකිය. යම් හෙයකින් ධවාන් අර්ධ ශතකයක් වෙත ගියහොත් ශතකයක් වෙත යාමට වැඩි ඉඩකඩක් ඇත.

ප්‍රබල පන්දු යවන්නන්

රංගන හේරත්

සෑමවිටම සිනහ මුසු මුහුණකින් ක්‍රීඩා කරන රංගන හේරත්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 85ක දී ඉනිම 155ක් තුල කඩුලු 405ක් සිය කඩුලු ගොන්නට එකතු කර ගැනීමට සමත් වී ඇත. ඉන් කඩුලු 32ක්ම ඉන්දියාවට එරෙහිව ලබාගත් ඒවායි.

27.82ක් වැනි මට්ටමක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත හේරත්, පන්දුව පහසුවෙන්ම දඟ කැවීමට උපන් හපනෙකි. තවද හේරත් ඉන්දියාවට එදිරිව ලකුණු ලබා දීමේ සාමාන්‍ය එක් පන්දු වාරයකට ලකුණු 3.33ක් ලෙස සටහන් වී ඇත.

රවිචන්ද්‍රන් අශ්වින්

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම දඟපන්දු යවන්නෙකු ලෙස ඉන්දීය පන්දු බල ඇණිය සවිමත් කරන අශ්වින්, තරග 52ක ඉනිම 98ක දී කඩුලු 292ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 25.26ක් ලෙස දක්වන මොහු, එක් පන්දු වාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 2.89ක් පමණ ලබා දී ඇත. නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී තරග 3ක් තුල කඩුලු 17ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව මෙල්ල කරන ලදි.

සුරංග ලක්මාල්

Suranga-lakmalදකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී පාකිස්තානු පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දෙනු දක්නට ලැබුණි. එම තරගාවලියේ තරග 2ක දී කඩුලු 6ක් දවා ගැනීමට ලක්මාල් සමත් විය. ඒ ඔහුගේ දක්ෂ පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියේ තරග 39ක දී ඉනිම 70ක් තුල  කඩුලු 88ක් දවා ගැනීමට ලක්මාල් සමත්ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් 3.23ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.  ලක්මාල් ඉන්දියාව සමඟින් එකම ටෙස්ට් තරගයක් සඳහා හෝ ක්‍රීඩා කර නැත.

මොහොමඩ් ශමී

දකුණතින් වේගපන්දු යවන්නෙකු ලෙස ඉන්දීය කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන ශමී, ජාත්‍යන්තර ටෙස්ට් තරග 25ක දී ඉනිම 48ක් තුල කඩුලු 86ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 47කට කඩුලු 5ක් දවා ගැනීම ඉනිමක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති ශමී, එක් පන්දු වාරයකට දළ වශයෙන්  ලකුණු 3.41ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ දී ද තරග 3ක් තුල  කඩුලු 10ක් දවා ගැනීමට මොහු සමත් වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමට හොඳ සවියක් වෙමිනි.

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින්..

කල්කටා තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (නොවැම්බර් 16-20)

ප්‍රේක්ෂකයින් 66,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග කිසිවක දී එකිනෙකා හමු වී නැත.

2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයට පසුව මෙම පිටියේ ටෙස්ට් තරගයක් පවත්වා නොමැති අතර, යම් හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට මෙම තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් සම්භාවිතාවක් ඇති අතර, තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 8 සිට 15 දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර 22°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

නාග්පූර් තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (නොවැම්බර් 24-28)

ප්‍රේක්ෂකයින් 45,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 2ක දී එකිනෙකා හමු වී ඇත. ඉන් එක් තරගයක් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

අවසන් වරට 2015 වර්ෂයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා ඇති මෙම පිටිය මත, ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. පැයට කිලෝමීටර් 5-16ක් දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 16°C – 32°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

දිල්ලි තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය (දෙසැම්බර් 02-06)

ප්‍රේක්ෂකයින් 41,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම එක් ටෙස්ට් තරගයක දී එකිනෙකා හමු වී ඇති අතර, එම තරගය ලකුණු 188කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකාව 2015 දෙසැම්බර් මාසයේ අවසන් වරට ටෙස්ට් තරගයක දී ක්‍රීඩා කළ මෙම තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 7-17ක් දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 16°C – 24°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව දැනට (නොවැම්බර් 13) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 3658ක් ලබාගෙන සිටින්නේ, ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ ලකුණු 4493ක් හා ප්‍රසාද ලකුණු 125ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

තරග ඉතිහාසය පිරික්සා බලන කළ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් වන නිසාවෙනි.

තවද ශ්‍රී ලංකා කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසය තුල ඉන්දියාවේ දී එකම ටෙස්ට් ජයක් හෝ ලබා ගෙන නොමැති නිසා එක් තරගයක් හෝ ජය ගෙන තරගාවලිය හොඳින් අවසන් කිරීම ඔවුන්ගේ එකම අරමුණ වනු ඇත.

සංචිතයන්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු.

ඉන්දිය ටෙස්ට් සංචිතය (පළමු හා දෙවන ටෙස්ට් තරගයට) – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, අභිනව් මුකුන්ද්, චේතෙශ්වර් පුජාරා, ආජින්ක්‍ය රහානේ, ව්රිදිමාන් සහා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදෙව්, මොහොමඩ් ශමී, බුවනේස්වර් කුමාර්, කුලදීප් යදෙව්, ලෝකේශ් රාහුල්, මුරලි විජේ, රෝහිත් ශර්මා, ඉශාන්ට් ශර්මා.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<