මිලන්තගේ ශතකයෙන් ජෝන් කීල්ස් ඉනිම පණ ලබයි

987
Mercantile Cricket A Division John Keells vs Textured Jersey and Dimo vs HNB report

වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ පළමු වටයේ තරග දෙකක් අද (25) දිනයේදී පැවැත්වුණි. එම තරග වලින් ජයග්‍රහණය වාර්තා කරන්නට ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් සමත් වූහ. ජෝන් කීල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ලහිරු මිලන්ත රැස්කල අනර්ඝ ශතකය සහ අවසන් පන්දු වාරය තෙක්ම ඇදී ගිය HNB – ඩිමෝ තරගය අද කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

පසුගිය ලිපි: කෞෂාල් සිල්වාගෙන් සුපිරි ශතකයක්!

ජෝන් කීල්ස් සහ ටෙක්ස්චර්ඩ් ජර්සි අතර තරගය

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය හිමි වූයේ ජෝන්ස් කීල්ස් නායකයාටයි. ඔහුගේ ඇරයුමින් පිටියට පිවිසි ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ ලකුණු 234ක් තුල දැවී ගියහ. ඩිලන් ජයලත් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වූ අතර නායක මිලින්ද සිරිවර්ධනට අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් තම ඉනිම නිමා කරන්නට සිදු විය. තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ විකුම් බණ්ඩාර අද දිනයේදී ද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසුණු ජෝන් කීල්ස් පිතිකරුවෝ පන්දුවාර 35යි පන්දු 4ක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය පසුකර යන්නට සමත් වූහ. ඉනිමේ මුල් භාගයේදී කඩුලු කිහිපයක් බිඳ වැටුනද ජර්සි පිළට ඉන් ඵල නෙලාගන්නට ඉඩ නොදුන් යොවුන් පිතිකරු ලහිරු මිලන්ත නොදැවී ලකුණු 121ක් රැස් කරමින් ජෝන් කීල්ස් කණ්ඩායම සුරක්ෂිතව ජය කණුව කරා රැගෙන ගියේය. භානුක රාජපක්ෂ ලකුණු 47ක් ද, රොෂේන් සිල්වා ලකුණු 37ක් ද රැස් කරමින් ඔහුට සහාය දැක්වූහ. ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4 දකුණත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක උපුල් බණ්ඩාර සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු සමරකෝන් අතරේ බෙදී ගියේය. ඒ අනුව ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් අත්විය.

ටෙක්ස්චඩ් ජර්සි සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 48.5)

ඩිලන් ජයලත් 58, මිලින්ද සිරිවර්ධන 49, විශාද් රන්දික 31, විකුම් බණ්ඩාර 2/35.

ජෝන් කීල්ස් කඩුලු 4ක් දැවී ලකුණු 236 (පන්දුවාර 35.4)

ලහිරු මිලන්ත 121*, භානුක රාජපක්ෂ 47, රොශේන් සිල්වා 37, උපුල් බණ්ඩාර 2/17, ලහිරු සමරකෝන් 2/47.


ඩිමෝ සහ HNB අතර තරගය

මෙවර වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ පිපාසයකින් පෙළුණු HNB ක්‍රීඩකයින්ට එම පවස සංසිඳුවා ගැනීමට අද දිනයේදී අවස්ථාව උදාවිය. ඒ ඩිමෝ කණ්ඩායමට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමගයි. දෙපිළෙන්ම අඩු ලකුණු වාර්තා වූ මෙම තරගය අවසන් පන්දුවාරයේ පස් වැනි පන්දුව තෙක්ම ඇදී ගිය වචනයේ පරිසමාප්ත අරුතින්ම උණුසුම් තරගයක් විය.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ පිතිකරුවන්ව ලකුණු 187කට නවතාලන්නට HNB පන්දු යවන්නන් සමත් විය. අනර්ඝ පන්දු යැවීමක නිරත වුනු මින්හාජ් ජලීල් සහ බුද්ධි පෙරේරා ඩිමෝ ක්‍රීඩකයින් පස් දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූහ. හුදකලා ඉනිමක නිරත වුනු ජේසන් පෙරේරා ලකුණු 85ක් රැස්කර ගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල HNB පිතිකරුවන්ට ද මෙම ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට හැකි නොවීය. පුළිණ තරංග, රමේෂ් මෙන්ඩිස් ඇතුළු ඩිමෝ පන්දු යවන්නෝ ද තණතිල්ලෙන් ලබා ගත හැකි වාසි මුළුමනින්ම උකහා ගනිමින් ඉනිම ආරම්භයේ සිටම සාර්ථක පන්දු යැවීමක නිරත වූහ. ඒ අනුව HNB ඉනිමේ පන්දු 25ක් ගෙවී යද්දී ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 5කට ලකුණු 88ක් වශයෙනි.

මේ අවස්ථාව වන විට දෙපිලටම දෝලනය වෙමින් තිබූ තරගය තම කණ්ඩායම වෙත හරවා ගන්නට HNB කණ්ඩායමේ පිතිකරු අශේන් ප්‍රනාන්දු සමත් විය. ඒ ඉනිම පුරාවට නොදැවී සිටිමින් ලකුණු 78ක් රැස් කරමිනි. අනෙක් අන්තයේ කඩුලු එකින් එක දැවී යද්දී තම අන්තය ආරක්ෂා කරගනිමින් ඔහු ගොඩ නැගූ සටන්කාමී ඉනිම සැබැවින්ම ප්‍රශස්ත මට්ටමක විය. ඔහුගේ මෙම සුපිරි දායකත්වය නිසාම අදාළ ඉලක්කය ඉනිම නිමා වීමට එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී සපුරා ගන්නට HNB කණ්ඩායම සමත් විය. ඒ පසුගිය තරග කිහිපය පුරාවට අත් විඳින්නට සිදුවූ පරාජයන්ට තිත තබමින් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමිනි.

ඩිමෝ සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 43.5)

ජේසන් පෙරේරා 85, නිපුන් කරුණානායක 25, ප්‍රමෝද් හෙට්ටිවත්ත 23, මින්හාජ් ජලීල් 2/45, බුද්ධි පෙරේරා 3/20.

HNB කඩුලු 9ක් දැවී ලකුණු 191 (පන්දුවාර  49.5)

අශේන් ප්‍රනාන්දු 78*, පුළිණ තරංග 3/35, රමේෂ් මෙන්ඩිස් 2/45.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler