ඔහුගේ පෙණුම සිනමා රංගන ශිල්පියකුගේ මෙන්ය. මඳක් අක්බමරු වූ කෙස් වැටිය හා ශක්තිමත් දේහ ස්වභාවය එඞ්ගාර් රයිස්බරෝස්ගේ අපූරු වෘතාන්තයක් වශයෙන් සැලකෙන වානරයන්ගේ ටාර්සන්ගේ ස්වරූපයට සමානයැයි සිතිවිලි චිත්‍ර ඇඳිය හැකිය.
එහෙත් ඔහු ඉපැදුණේ එංගලන්තයේ නොවේ. එංගලන්ත අණසකට යටත්ව සිටි නිවහල්, නිදහස් රාජ්‍යයක් සේ සැලකෙන නවසීලන්තයේය. ඕක්ලන්ඞ් හි හෙන්ඩර්සන් නමැති ප්‍රදේශයේ 1962 සැප්තැම්බර් 22 වැනිදා උපත ලැබූ ඔහු මාටින් ඬේවිඞ් ක්‍රෝ ය. පසුගිය මාර්තු 3 වැනිදා කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයට ඔහු ජීවිත ක්‍රීඩාවෙන් සදහටම සමුගත්තේය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

1980 වසරේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඔහු සිය මංගල තරගයේදී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාද වෙමින් ලකුණු 51ක් රැස් කළේ සිය ගමන් මගේ ප්‍රක්ෂිප්තය කවර ස්වරූපයක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ලෝකයාට අවබෝධයක් ලබාදෙමිනි. ඉන් අනතුරුව ඔහු 1981 වසරේ නවසීලන්තයේ යොවුන් ක්‍රීඩකයා වශයෙන්ද සම්මානිත විය. ඒ සමඟින් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයට එක්ව පුහුණුව ලැබීමටත්, ක්‍රීඩා කිරීමටත් ඔහුට අවස්ථාවක් උදාවුණේ යැයි කිව යුතුය.
එසේ මාස හයක පුහුණුවක් ලැබීමෙන් අනතුරුව යළි නවසීලන්තය බලා පැමිණි ඔහු පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත් වූයේය. එය ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ තීරණාත්මක සිදුවීමක් ලෙසින්ද සැලකිය හැකිය. ඒ අනුව ඔහුට 1982 වසරේදී නවසීලන්ත ජාතික පිලේ කැඳවුම් ලැබුණේය. ඔහු පෙබරවාරි 26 වැනිදා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට පිවිසුණේ ඒ අනුවය. එහිදී ඔහුට රැස්කරගත හැකිවූයේ ලකුණු 14ක් පමණි. එම තරග සංචාරයම ඔහුට යහපත් එකක් නොවුණු බව කිවයුත්තේ පිත්තෙන් දක්ෂතා දැක්වීමට අවස්ථාවක් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් අවස්ථාවක් ලබා නොදුන් හෙයිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යළි නවසීලන්ත කණ්ඩායමෙන් කලකට නික්ම යෑමට ඔහුට සිදුවිණි. 1982 මාර්තු මාසයේ සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ තවත් වසරකට වඩා වැඩි කාලයක් ඔහුට යළි තරගයක් ලැබෙන තුරු බලාසිටීමට සිදුව තිබිණි. එකල මේ 
ඉන්අනතුරුව ඔහු නවසීලන්තය බිහිකළ වඩාත් පරිපූර්ණ පිතිකරුවෙක් ලෙස ලෝක ක්‍රිකට් විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට ලක්වෙමින් මතක සිතිවිලි අතර ස්ථාවර වූයේය. නවසීලන්ත පිලේ නායකත්වයද ක්‍රමිකව ඔහු වෙත පැවරුණු අතර අලුත් ලෙස සිතමින් පන්දු යැවීම, පන්දු රැකීම, පිතිකරණයේදී ක්‍රීඩකයන්ගේ අනු පිළිවෙල වෙනස් කිරීම වැනි අත්හදා බැලීම් සාර්ථකව හා නොබියව කිරීමට මේ අනුව ඔහුට අවස්ථාව උදාවිණි. ඒ සඳහා තමන්ට ලැබුණු වගකීම් සම්භාරය අභියස ඉදිරියට පැමිණීමට ඔහු කටයුතු කළේ යැයි කිව හැකිය. කිසිදා පරාජය වී පසුබැසීමට මාටින් ක්‍රෝ ක්‍රීඩකයෙක් වශයෙන් දැක්වූ අකමැත්ත මින් විද්‍යාමාන විය.
වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ සංචාරය කරද්දී අරවින්ද ද සිල්වා ද්විත්ව ශතකයක් රැස්කිරීමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 299ක් රැස්කරමින් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කරගත්තේය. ඒ වෙලින්ටන් තරගයේදී ශ්‍රී ලංකා පිලට හිමිව තිබූ සියලූ ගෞරවයන් ඔහු ඉවසීමෙන් හා ආක්‍රමණයෙන් සිය නමටත්, සිය රටටත් හිමිකරගත් ආකාරයෙන්ම මාටින් ක්‍රෝ ගේ ධෛර්යවන්ත භාවය තේරුම් ගැනීමට හැකිවූයේය.
ඔහුගේ මෙම කුසලතාවයන් සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයෙක් වූ වර්තමාන ක්‍රිකට් විස්තර විචාරක රමීෂ් රාජා කළ ප්‍රකාශයක් උපුටා දැක්වීම අගනේය. ‘‘ මාටින් ක්‍රෝ නිර්මාණශීලී නායකයෙකි. හොඳ සටන් කාමියෙකි. සම්ප්‍රදායික ක්‍රමවේද පසෙක ලා නව ක්‍රමවිධි අත්හදා බලන්නට සැමවිටම කැමැත්ත දක්වන්නෙකි. ඔහු නායකයකු හා ක්‍රීඩකයකු වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමට කර ඇති සේවාව අතිමහත්ය. ඒ අතරින් වඩාත් ප්‍රකට සිදුවීම වනුයේ දීපාක් පටෙල් වැනි දඟ පන්දු යවන්නකුට නව පන්දුව භාරදීමට ඔහු ගත් තීරණයයි.’’ යනුවෙන් පවසා තිබේ.

මේ අතර පාකිස්තානයෙන් බිහිවූ සුපිරි පිතිකරුවකු සේ සැලකෙන, වර්තමානයේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඉන්සමාම් උල් හක් කළ ප්‍රකාශයක් උපුටා දක්වනට කැමතිය. ‘‘මම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දැක ඇත්තෙමි. ඇතමුන් සමඟ ක්‍රීඩා කිරීමටත්, ඇතැමුන් සමීපයෙන් නැරඹීමටත් අවස්ථාව මට උදාවී තිබේ. ඒ අතරින් ලෝකයේ වඩාත් විශිෂ්ට පිතිකරුවන් තිදෙනා ලෙස මා ශ්‍රේණිගත කරන්නේ ශ්‍රීමත් විවියන් රිචඞ්ස්, මාර්ටින් ක්‍රෝ හා රිකී පොන්ටින්ය.’’
මේ ප්‍රකාශයන් කීපය උපුටා දැක්වීමම මාටින් ක්‍රෝ නමැති විශිෂ්ටයා විශිෂ්ටත්වය මැනවින් කියාපෑමට ප්‍රමාණවත් බව අපගේ අදහසය. යළි කිසිදා ක්‍රිකට් පිටියේ, විචාරක අට්ටාලයේ දැකිය නොහැකි මාටින් ක්‍රෝ අද (3* වැනිදා) සිය ජනප්‍රිය, කීර්තිමත් ජීවිතයට සමුදුන්නේ සිය නිවසේ හුදෙකලාව සිටියදීය. ඒ වසර කීපයක් තිස්සේ හඳුනාගෙන, ප්‍රතිකාර ලැබූ දරුණු වසා ගැටිති පිළිකා තත්වයක් හේතුවෙනි.
සිය ක්‍රිකට් ජීවිය අවුරුදු 33දී ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අවසන් කළ යළි ශරීර සෞඛ්‍යය වර්ධනය කරගැනීමේ රිසියෙන් වයස අවුරුදු 48දී දෙවැනි පෙළ ක්‍රිකට් තරග සඳහා පැමිණ තරග තුනක් ක්‍රීඩා කළ 2012 වසරේදී පිළිකා රෝගයට ලක්ව යළි ජීවිතය වෙනුවෙන් සටන් කළ මාටින් ඬේවිඞ් ක්‍රෝ කිසිදා ජයග්‍රහණය ලැබිය නොහැකි මරණය අභියස සිය පරාජය පිළිගත්තේය. ඒ පිළිගැනීම, ඒ පරාජය ඔහු පෞද්ගලිකව ලද පරාජයක් පමණක් නොව සමස්ත ලෝකයම, ලෝකයේ ක්‍රිකට් ලෝලීන් ලද පරාජයක් ලෙස හැඳින්වීමට අප ඉදිරිපත් වන්නේ එය සැබෑවක්ම වන බැවිනි. නිරහංකාර සිහනව, යෝධයකු වැනි ශක්තිමත් සිරුර, පිරිපුන් පහර යළි කිසිදා අපට ක්‍රිකට් පිටියේ දැක ගැනීමට නොහැකිය. මාටින් ක්‍රෝ ඒ සියල්ලටම සමුදී නික්ම ගොස් අවසන්ය. සිය පළමු විවාහයේ දරුවනුත්, දෙවැනි විවාහයේ දරුවනුත්, දෙවැනි විවාහයේ බිරියත් සියලූ දෙනාත්, සුප්‍රකට සිය ඥාති සොහොයුරා වන රසල් ක්‍රෝ ඇතුළු ක්‍රෝ පවුලේ සියලු දෙනාත් මේ දුක්මුසු අවස්ථාවේ එකාවන්ව එකට එක්ව ඇතිබව නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේය. අවසන් වශයෙන් මාටින් ක්‍රෝ නමැති අසමසම ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධයෙන් තවත් එක් වාක්යයක්න් සමාප්ති සටහනක් ලියන්නට අපි කැමතිය.
වරක් එක්තරා විචාරකයෙක් ඔහු සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් කළේය. ඒ ‘ කුඩා මිනිසුන්ගේ ක්‍රීඩාවකට එක්වූ මාටින් ක්‍රෝ යනු දැවැන්ත මිනිසෙකි.’’යනුවෙනි. ඔහුගේ ඥාති සොහොයුරා පවසන පරිදි ‘මගේ ශූරයා වන්නේ ඔබය. මගේ වීරයා වන්නේද ඔබමය. මගේ මිත්‍රයානෙනි, එහෙයින් මම නුඹට සදාකාලයටම ආදරය කරමි.’ යන ට්විටර් පණිවුඩය සමඟ සමස්ත ලෝක වාසී ක්‍රිකට් ලෝලීන්ටම එක්විය හැකියැයි අවසන් වශයෙන් සටහන් තබන්නට කැමැත්තෙමි.






















