ක්‍රීඩකයින් දෙදෙනෙකුට සල්ලි සාගරයක් විසි කළ Mumbai Indians සැලසුම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

11784

සෙසු කණ්ඩායම් එළඹෙන තරග වාරය සඳහා තම කණ්ඩායම් ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සන්නද්ධ කරගැනීමට දැඩි ප්‍රයත්නයක් දරද්දී, පස්වරක් IPL ශූරයින් ලෙස කිරුළ පැලඳූ Mumbai Indians මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඊට වෙනස්ම උපක්‍රමයක් අනුගමනය කිරීමට කටයුතු කොට තිබුණේ දීර්ඝ කාලීන සැලසුම් සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් සනිටුහන් කරමිනි.

ඉන්දීය කෝටි 23ක දැවැන්ත මුදල් සම්භාරයක් ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් මිල දී ගැනීමට ආයෝජනය කළ Mumbai කළමනාකාරිත්වය ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කරන Ishan Kishan ඉන්දීය කොටි 15.25ක මුදලක් වැය කරමින් මිල දී ගත්තේ පළමු දිනයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසට වාර්තාවක් ද සටහන් කරමිනි.

ඉන් අනතුරුව දෙවැනි දිනයේ දී ද ඔවුන් තරමක වෙනසක් මඟක යමින් දැනට ආබාධයක් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින Jofra Archer හට MI සංචිතය තුල ඉඩක් වෙන් කිරීමට තීරණය කර තිබුණේ ඉන්දීය කෝටි 8ක වටිනාකමක් ඔහුට ලබා දෙමිනි.

මේ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කරන Sanjay Manjrekar මහතා පෙන්වා දී සිටියේ Ishan සහ Archer වෙනුවෙන් විශාල මුදලක් වෙන්කිරීමට ගත් තීරණය නිසාවෙන් තවත් නම් දැරූ ක්‍රීඩකයින් කණ්ඩායමට එකතු කර ගැනීමට තිබූ අවස්ථාව මේ වන විට සීමා වී ඇති බවයි.

“Archer කියන්නේ සාමාන්‍ය පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට වේගපන්දුවෙන් කළ හැකි දේවල් ගැන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉන්න ඔබට මම අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ.  IPL තරගාවලියේ දී ද Archer ඔහුගේ විශිෂ්ටත්වය ලෝකයට විදහා දැක්වීමට සමත් වෙලා තියෙන දක්ෂ ක්‍රීඩකයෙක්. සුපිරි පන්දුවාරයක දී කිසිම පැකිළීමකින් තොරව නායකයාට පන්දුව භාර කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඔහු! සරලවම තරග දිනවන්නෙක්.”

“MI කළමනාකාරිත්වය ක්‍රීඩක වෙන්දේසිය පුරාවට තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු කාරණාව ඉතාමත් පැහැදිලි. Ishan සහ Archer වෙනුවෙන් කෝටි 23කට ආසන්න මුදලක් වෙන් කරනවා කියන්නේ සුළුපටු කාරණාවක් නෙමෙයි. මම නම් හිතන්නේ නැහැ කවුරුත් මේ විදියට හිතනවා ඇති කියලා. MI මේ පාර අරගෙන නියෙන්නේ සෑහෙන වෙනස් අවදානමක් නමුත් ඒක ඵලදායී තීරණයක් වෙන්න තියෙන ඉඩකඩත් ඒ වගේම වැඩී.”

තවද මෙම තීරණය පිටුපස සිටින ප්‍රබල චරිතයක් වන Mumbai Indians කණ්ඩායමේ හිමිකරු Akash Ambani මහතා ද සිය මතය ඉදිරිපත් කරමින් සඳහන්කොට තිබුණේ අනාගතයේ දී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට වසරක කාලයක් කැප කිරීමට ඔවුන් කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

මහේල ජයවර්ධන සහ Jofra අතර ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා, ඒ නිසාම ඔහුගේ සේවය ලබා ගන්න පුළුවන් වීම ගැනීම විශාල සතුටක් තියෙනවා. මේ අවුරුද්දේ ඔහුට ක්‍රීඩා කරන්න නොහැකි වුනත් ලබන වසරේ Bumrah-Jofra සුසංයෝගය පිතිකරුවන්ට විශාල හිසරදයක් වෙනවා කියන එක නම් මට හොඳටම විශ්වාසයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<