Blues සහ Reds කණ්ඩායම්වලට තවත් අවස්ථාවක්

Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

434

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (21) දවසේ වැඩි කාලයක් වැස්සෙන් බාධා වීම හේතුවෙන් කණ්ඩායම් 4ටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුනා. 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබුනා. ඒ SLC Greens  සහ SLC Blues අතරත් SLC Greys සහ SLC Reds අතරත් තරගයි. 

මේ අතුරින් දිවා තරගය ලෙසින් පැවති SLC Greens  සහ SLC Blues අතර තරගය පන්දුවාර 7කට පමණක් සීමා වූ අතර රාත්‍රී තරගය ලෙසින් පැවති SLC Greys සහ SLC Reds අතර තරගය එකම පන්දුවක් හෝ නොයවා නතර කිරීමට සිදුවුනා. 

අද දවස අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය අපරාජිත SLC Greys කණ්ඩායම සතු වූයේ ප්‍රසාද ලකුණු 9ක් සතු කරගනිමින්. දෙවැනි ස්ථානවලට SLC Blues සහ SLC Reds කණ්ඩායම් ලැයිස්තු ගත වෙන්නේ ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි කරගෙන සිටීම හේතුවෙන්.  

තරගාවලියේ අවසන් තරගය සඳහා මේ වන විට SLC Greys කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර අනෙක් කණ්ඩායම වෙනුවෙන් SLC Blues සහ SLC Reds යන කණ්ඩායම් සඳහා තවදුරටත් අවස්ථාව විවර වී තිබෙනවා. තරගාවලියේ පළමු වටයේ අවසන් තරග හෙට පැවැත්වීමට නියමිතයි. 

දවස අවසාන වෙද්දී මෙම තරගාවලියේ පළමු  ප්‍රසාද ලකුණ ලබා ගැනීමට  SLC Greens  ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් මේ දක්වා තරග 5කට මුහුණ දී සිටින අතර පෙර සහභාගී වූ තරග 4ම ඔවුන් අවසන් කළේ පරාජය වෙමින්. 

SLC Greens  සහ SLC Blues

කාසියේ වාසිය දිනාගත් SLC Greens නායක අශාන් ප්‍රියංජන් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස SLC Blues නායක ධනංජය ද සිල්වාට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි SLC Blues ක්‍රීඩකයන්ට තම ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවූයේ පන්දුවාර 7ක් පමණයි. ඒ ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාව හේතුවෙන්. 

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොපැවති අතර ඒ අනුව පිටියේ විනිසුරුවන් විසින් තරගය නිමා කරමින් දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමුවා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න : 

අද තරගයේ දී SLC Blues ඉනිම ආරම්භ කළ සධීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන් එම පන්දුවාර 7ම ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ සබඳතාව ලකුණු 48ක්. එහිදී ධනංජය ලක්ෂාන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් රැස් කරගත්තා. තරගය නතර කරන විට සධීර සමරවික්‍රම පන්දු 14කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා. 

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය රමේෂ් මෙන්ඩිස් සතු වුනා. 

SLC Blues කඩුල්ලක් දැවී 48 (7) : සධීර සමරවික්‍රම නොදැවි 12, ධනංජය ලක්ෂාන් 31, රමේෂ් මෙන්ඩිස් 1/08.

හෙට (22) තරගාවලිය හය වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි දී තරගාවලියේ 11 වැනි තරගය දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන්නේ SLC Blues සහ SLC Greys අතරයි. රාත්‍රී තරගය තරගාවලියේ 12 වැනි තරගය වන අතර එය SLC Greens  සහ SLC Reds අතර පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<