වසරේ අවසන් මැරතන් තරගය පිළිබඳ තවත් ඉඟියක්

104
Image Courtesy: Imageplotter/Shutterstock

පැතිර ගිය කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙම වසර තුල පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ මැරතන් තරග බොහොමයක් අවලංගු කිරීමට සංවිධායකයින් හට සිදු වූ අතර මෙම වසරේ පැවැත්වීමට ඉතිරිව ඇති එකම ප්‍රධාන මැරතන් තරගය වන ලන්ඩන් මැරතන් තරගය ඔක්තෝබර් 04 දක්වා කල්දැමීමට ද එහි සංවිධායකයින් මීට පෙර කටයුතු කර තිබුණි.

තවත් ප්‍රධාන පෙළේ මැරතන් තරගයකට තිත

ඒ අනුව එලෙස කල්දැමූ ලන්ඩන් මැරතන් තරගය මෙම වසර තුළ පවත්වනවා ද, එසේත් නොමැති නම් අවලංගු කරනවා ද යන තීරණය ඊයේ (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් එම තීරණය ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු මස 07 වැනිදා දක්වා කල් දැමූ බව එහි සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණි.

මෙම තීරණය දැනුම් දීම කල්දැමීමට සිදු වීම පිළිබඳව එයට සම්බන්ධ පාර්ශවයන් වෙත ලිපියක් නිකුත් කරමින් තරගාවලියේ අධ්‍යක්ෂක Hugh Brasher සඳහන් කර තිබුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සංවිධාන, පළාත් පාලන ආයතන සහ හදිසි සේවා සපයන ආයතන සමඟින් සිදු කිරීමට ඇති සාකච්ඡා නිසාවෙන් මෙම ප්‍රමාදය ඇති වූ බවයි.

“මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී ඔබගේ ඉවසීම සහ අවබෝධය පිළිබඳව ඔබ සැමට මාගේ ස්තුතිය පුද කර සිටිමි. අප දන්නවා ඔබට මෙම ලන්ඩන් මැරතන් තරගය කෙතරම් වැදගත් ද කියා, එම නිසා අප සැමටම ආරක්ෂිතව එකට දිවීමට හැකි වන පරිදි අප විසින් සිදු කරමින් තිබෙන වැඩ කොටස අවසන් වනතුරු අප සමඟ සිටින්න” යැයි එහි වැඩි දුරටත් සඳහන්ව තිබුණි.

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසර තුල පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ මැරතන් තරග අතරින් ටෝකියෝ මැරතන් තරගය විශේෂ ක්‍රීඩක කාණ්ඩයක් පමණක් සහභාගි කර ගනිමින් පැවැත්වූ අතර බොස්ටන්, නිව්යෝක්, චිකාගෝ සහ බර්ලින් මැරතන් තරග අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින් කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<