තවත් ප්‍රධාන පෙළේ මැරතන් තරගයකට තිත

159

මැරතන් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම මැරතන් තරග හයෙන් එකක් වන සුප්‍රකට චිකාගෝ මැරතන් තරගයේ මෙම වසරේ අදියර, පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසාවෙන් අවලංගු කිරීමට කටයුතු කළ බව එහි සංවිධායකයින් පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

බෝල්ට් නැවතත් ක්‍රීඩා පිටියට?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 45,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මෙම තරගය 1987 වසරෙන් පසුව අවලංගු කෙරූ මුල්ම අවස්ථාව මෙය වන අතර මෙවර අදියර ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම තරගය අවලංගු කිරීමේ තීරණය පිළිබඳව දැනුම් දෙමින් චිකාගෝ මැරතන් තරගයේ සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මෙම තරගය සඳහා සහභාගී වන්නන්ගේ සහ ඒ සමඟ කටයුතු කරන සියල්ලන්ගේම ආරක්ෂාව පතා මෙම අවලංගු කිරීම සිදු කළ බවයි.

චිකාගෝ නුවර මේ වන විට කොරෝනා ආසාදිතයින් 55,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් එහි නගරාධිපතිවරිය ප්‍රකාශ කර සිටියේ මෙම තරගය අවලංගු වීම පිළිබඳව තමන් පෞද්ගලිකව කනගාටුවට පත්වන බවයි.

200m වාර්තාව සුළු මොහොතකට අලුත් වෙයි

මෙම වසරෙ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධානතම මැරතන් තරගයන්ගෙන් ටෝකියෝ මැරතන් තරගය පසුගිය මාර්තු මාසයේ දී විශේෂ තරගකරුවන් පමණක් සහභාගි කර ගනිමින් පැවති අතර බොස්ටන්, නිව්යෝක් සහ බර්ලින් මැරතන් තරග නිල වශයෙන් අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට ඇති අවසන් මැරතන් තරගය ඔක්තෝබර් මස 26 දක්වා කල් තැබූ ලන්ඩන් මැරතන් තරගය වන අතර එම තරගය ද විශේෂ තරගකරුවන් කාණ්ඩයක් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට ඉඩ ඇති බව එහි සංවිධායකයින් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<