විදෙස් ක්‍රීඩකයන්ට ලැන්කෂයර් දොර වැසෙයි

95

මෙවර තරගවාරය සඳහා ලැන්කෂයර් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වූ ජාත්‍යන්තර ක්‍රීඩකයන් වන බී. ජේ. වොට්ලිං, ග්ලෙන් මැක්ස්වෙල් සහ ජේම්ස් ෆෝක්නර්ගේ කොන්ත්‍රාත්තු අවලංගු කිරීමට සිදුවී ඇත. ඒ පවතින ගෝලීය අර්බුදය හමුවේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය කල්දැමීමට සිදුව තිබීම නිසාවෙනි. නමුත් 2021 ඊළඟ ගිම්හානයේ දී ඔවුන් තිදෙනා සමඟින් නැවතත් ගිවිසුම් අත්සන් කිරීමට ලැන්කෂයර් කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියි. 

IPL ශ්‍රී ලංකාවේ ද? ඉන්දියාවෙන් පිළිතුරක්

දැනට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීම…

නවසීලන්ත කඩුලු රකින්නා වන වොට්ලිං පළමු ප්‍රාන්ත ශූරතා තරග නවයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන මැක්ස්වෙල් සහ ෆෝක්නර් විස්සයි විස්ස තරගාවලිය සඳහා අත්සන් තැබූහ. කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මෙවර තරග සමය අවට අවිනිශ්චිතතාවයේ වලාකුළක් ඇති බැවින් ලැන්කෂයර් කණ්ඩායම සෙසු ප්‍රාන්ත කණ්ඩායම් මෙන් විදෙස් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කළේය. 

“වර්තමාන තත්ත්වය පිළිබඳ පූර්ණ අවබෝධයක් අරගෙන මෙම තීරණය පිළිබඳව පූර්ණ එකඟතාවය පළකිරීම පිළිබඳව බී. ජේ. වොට්ලිංට, ග්ලෙන් මැක්ස්වෙල්ට, ජේම්ස් ෆෝල්ක්නර්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ලැන්කෂයර් හි ක්‍රිකට් අධ්‍යක්ෂක පෝල් ඇලොට් පැවසීය. 

“මූල්‍ය හා මෙහෙයුම් යන දෙඅංශයෙන්ම මෙය ඉතා අවිනිශ්චිත හා අභියෝගාත්මක කාලයක්. මේ වන විට අප මුහුණ දෙන ගැටලු, දේශීය තරග සමය සඳහා අප සූදානම් වන ආකාරය කෙරෙහි බලපෑමක් කරනු ඇති බව පැහැදිලියි. විදේශීය ක්‍රීඩකයන්ගේ තත්වය රට පුරා සාකච්ඡා කර ඇති ප්‍රතිපත්තියක්. අප මුලින් අත්සන් කළ ක්‍රීඩකයන් සමඟ අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණීම විචක්ෂණශීලී යැයි අපි සිතනවා.”  

“අපි ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ සම්බන්ධතා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අප ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස 2021 තරගවාරය සඳහා ඔවුන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට අපට විකල්පයක් තියෙනවා.” 

“පැහැදිලිවම, අපි සංශෝධන සහිත හා කප්පාදු කරන ලද තරගසමයක් දෙස බලමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම කිසිඳු විදේශීය ක්‍රීඩකයෙකු අප සතුව නොමැති වීම කණගාටුවට කරුණක්. ඒත් එයින් අදහස් කරන්නේ අපගේ තරුණ සහ ස්වදේශික ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවන් ලබා දීමට අපට හැකි වනු ඇති බවයි.”  

T20 ලෝක කුසලානයට විකල්ප සොයයි

පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සියල්ල අවලංගු…

ලැන්කෂයර් හි ක්‍රීඩකයින් ද ඔවුන්ගේ මැයි වැටුපෙන් 20%ක වැටුප් කප්පාදුවකට එකඟ වී ඇති අතර ක්‍රීඩා නොකරන කාර්ය මණ්ඩලය දැනටමත් ඔවුන්ගේ වැටුපෙන් 80%ක කප්පාදුවක් සඳහා එකඟ වී ඇත. 

“මැයි මාසය සඳහා 20%ක වැටුප් අඩු කිරීමට එකඟ වීම ගැන වත්මන් ලැන්කෂයර් සංචිතයට මම ස්තූතිවන්ත වෙනවා.” ඇලෝට් පැවසීය.  

“ක්‍රීඩකයින් ඉතා උනන්දුවක් දැක්වූවා ඔවුන් සඳහා වන ඕනෑම වැටුප් අඩු කිරීමක් සමාජයේ සෙසු කාර්ය මණ්ඩලයට අනුකූල විය යුතු බවට. එය සැබවින්ම අප දැනට සිටින ඉතා දුෂ්කර තත්වයක් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක්.” 

“පෙර නොවූ විරූ තත්වයක් තුළ පසුගිය මාසය පුරා ක්‍රීඩකයින් විසින් පෙන්වන ලද ප්‍රගතිය පිළිබඳව අපි සැබවින්ම සතුටු වෙනවා. මා වඩාත් සිත්ගත්තේ ඔවුන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් කළ මැදිහත්වීම හා සම්බන්ධ වීම වගේම ඕනෑම ආකාරයකින් උදව් කිරීමට ඔවුන් දක්වන කැමැත්ත. සාමාජිකයින් සහ සමාජයේ ඩිජිටල් නාලිකා සඳහා අන්තර්ගතයන් නිර්මාණය කිරීමටත් ඔවුන් කැමැත්ත පළකළා.” 

“ඔවුන් සමාජ විනෝදාත්මක සහ ක්‍රීඩකයින් සඳහා යෝග්‍යතා ඉඟි සහ පුහුණු වීඩියෝ සමඟ සහයෝගය ලබා දී තිබෙනවා. ඒ වගේම ඔවුන් ලැන්කෂයර් ක්‍රිකට් පදනම සමඟ සම්බන්ධ වෙලා ක්‍රීඩා දෘෂ්ටි කෝණයෙන් සමාජයට සහාය වී තිබෙනවා. ක්‍රීඩා විද්‍යා හා වෛද්‍ය කණ්ඩායම විසින් ඔවුන්ගේ යෝග්‍යතා වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාවි.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් ලැන්කෂයර් හි ක්‍රිකට් අධ්‍යක්ෂක පෝල් ඇලොට් පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<