රජත කුසලානය කිරුලපන එක්සත් පිලට

345
Kirulapone Utd clinches Silver Cup

CR&FC ක්‍රීඩාංගනයේදී පැවති රජත කුසලාන තීරණාත්මක අවසන් තරඟයේදී 3-1ක් ලෙස කිරුලපන එක්සත් ක්‍රීඩා සමාජය විසින් හේනමුල්ල එක්සත් ක්‍රීඩා සමාජය පරාජය කොට ජය තහවුරු කරගන්නට සමත්විය.

පසුගිය ලිපි: රිදී කුසලානයට කිරුලපන හා හේනමුල්ල සටනට

හේනමුල්ල ක්‍රීඩා සමාජයේ වේගවත් ක්‍රීඩා විලාශයත් සමඟින් තරඟයේ ආරම්භය තියුණු මුහුණුවරක් ගත් අතර නොසිතූ ක්ෂණික අභියෝගයෙන් කලබලයට පත් කිරුලපන ක්‍රීඩා සමාජයට ශරීර ශක්තිය යොදා එදිරිවාදීන් මැඩපවත්වනු හැර අන් කිසිවක් ඒ මොහොතේදී කර ගත නොහැකි විය.

වැඩි වේලාවක් යන්නට මත්තෙන් නීල් ක්‍රිස්ටෝපල් තරඟයේ 10වන මිනිත්තුවේදී කිරුලපන ක්‍රීඩා සමාජයේ ආරක්ෂක පෙල අතුරින් රිංගා ගොස් තරඟයේ ප්‍රථම ගෝලය වාර්තා කරන විට CR&FC ක්‍රීඩාංගණයේ ජයඝෝෂා පැතිරෙන්නට වූයේ හේනමුල්ල කණ්ඩායමේ බලාපොරොත්තුව නීල් බව පසක් කරමිනි.

කිරුලපන කණ්ඩායම ඊට නොදෙවෙනි ‘කරට කර ක්‍රීඩා රටාවකට’ එළඹෙමින් වේගයෙන් පන්දුව ඉදිරියට මෙහෙයවූයේය.

තරඟය සම මට්ටමට ගෙන ඒමට තවත් මිනිත්තු අටක් පමණක් වැය කළ රවීන් මදුශංකගේ ප්‍රහාරය දැල මත පතිත වූයේ කිරුලපන කණ්ඩායමේ ජයග්‍රහණයේ ආරම්භය සනිටුහන් කරමිනි.

තර්ජනාත්මක ක්‍රීඩා රටාවකින් කිරුලපන කණ්ඩායම තරඟයේ වැඩිබර තමා වෙතට හරවා ගනිද්දී ගෝල පරතරයක් ඇති කරගන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ ආදිල් රූමිගේ නොනවතින උත්සාහය 30වන මිනිත්තුවේදී ගෝලයක් බවට පරිවර්තනය වීමත් සමඟය.

එතැන් සිට කිරුලපන මැද පෙලින් හැර අන් සියලු අංශවලින් දැකිය හැකි වූයේ උසස් තරඟකාරිත්වයකි.

කෙසේවෙතත් දැඩි පරිශ්‍රමයක් යොදා ප්‍රථම අර්ධය නිමා වන විටත් තරඟය 2-1ක් ලෙස ඉදිරියෙන් පවත්වාගෙන යන්නට හේනමුල්ල ක්‍රීඩකයන්ට වාසනාව ලැබිණි.

ප්‍රථම අර්ධය: කිරුලපන එක්සත් ක්‍රීඩා සමාජය 02 – 01 හේනමුල්ල එක්සත් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේදී දෙපිලටම පැවරුණු කාර්යභාරය සිත්හි තබාගනිමින් කණ්ඩායම් දෙකම දෙවන භාගය සඳහා තරඟයට අවතීර්ණ විය.

ඒ වුණත්, තරඟයට බට ඔවුන්ගේ අස්ථාවර ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් දෙපිලටම අවස්ථාවන් හිඟ වෙමින් කාලය ගතවී ගියේය. දෙපිලම අවස්ථාවන් ලබා ගැනීමේ නොහැකියාවෙන් පෙලෙද්දී හේනමුල්ල කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ නොහැකියාව කාලයත් සමඟ වර්ධනය විය. අනෙක් පසින් කිරුලපන ක්‍රීඩකයෝ හේනමුල්ල ක්‍රීඩකයන් නවතාගන්නට තරම් ශක්තිමත් මට්ටමක සිටියෝය.

රවීන් මදුෂන්කටත්, සරීක් අහමඩ්ටත් තරඟය තම සියතට ගෙන ඒමේ අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරී යන්නේ මේ මොහොතේදීය. අවසාන මිනිත්තු කිහිපයට ලඟාවෙද්දී තරඟය සම කරගැනීමට හේනමුල්ල කණ්ඩායමට ලැබුණු අනගි අවස්ථාවක් මොහොමඩ් සෆ්රාන් අතින් ගිලිහුණේය.

අනතුරුව 94 වන මිනිත්තුවේදී කිරුලපන කණ්ඩායම වාර්තා කළ ගෝලයත් සමඟ හේනමුල්ල කණ්ඩායමට තරඟය පරාජයෙන් අවසන් වීමේ සහතිකය ලැබුණි.

යාර විස්සක පමණ දුරකින් සිට කවිඳු වික්‍රමාරච්චි එල්ල කළ පාපන්දුව ගෝලයේ යට කෙළවරින් ඇතුල්වීම සිදුවීමෙන් මිනිත්තුවකටත් අඩු කාලයකදී තරඟයේ අවසන් සංඥාව ලැබීමත් සමඟ කිරුලපන ප්‍රේක්ෂකයන් වර්ෂාව මධ්‍යයේ ප්‍රබෝධමත් ජයඝෝෂා නංවන්නට විය.

අවසන් ලකුණු: කිරුලපන එක්සත් ක්‍රීඩා සමාජය 03 – 01 හේනමුල්ල එක්සත් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරඟයේ වීරයා: රවිඳු මදුශංක (කිරුලපන එක්සත්)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්:
හේනමුල්ල ක්‍රී. ස. – නීල් ක්රිස්ටෝපල් 10′
කිරුලපන ක්‍රී. ස. – රවීන් මදුශංක 18′, ආදිල් රූමි 30′, කවිඳු වික්‍රමාරච්චි 94′

කහා කාඩ්පත්:
• තිමිර සිල්වා (කිරුලපන එක්සත්)
• මොහොමඩ් සෆ්රාන් (හේනමුල්ල එක්සත්)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට