යොවුන් සංචිතයට නැතිවම බැරි පොඩි මෑන් – කවිඳු පබසර

566

පසුගිය දා නිමා වුන තෙවැනි ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවට සහභාගී වුන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, ශරීරයෙන් කුඩා එක් ක්‍රීඩකයෙක් වේගවත් පන්දු ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිවාදීන්ට දැඩි සටනක් දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යන්න වෙහෙසෙනවා දක්නට ලැබුණා. බැලූ බැල්මට ලිබරෝ ක්‍රීඩකයෙක් වගේ වුනත් උස පන්දු ප්‍රහාරකයෙක් ලෙස තමයි ඔහු පිටියේ කටයුතු කළේ. 

ශ්‍රී ලංකාවට සෑම වටයක දී ම ලකුණු දෙකක් හරස් වෙයි

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම අද (08) සහභාගී වූ, 2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල්……

තරගාවලිය පුරාවට ඔහුගේ ස්ථානයට හොඳ සාධාරණයක් කළ මේ ක්‍රීඩකයා නමින් කවිඳු පබසර. මීටර් 1.76ක උසක් ඇති TJ ලංකා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ඔහු සාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙන් ජාතික යොවුන් සංචිතයට බිහිවූ දක්ෂ වොලිබෝල් තරුවක්. 

ක්‍රීඩා පිටියේ දක්ෂයන් සොයා යන ThePapare.com මේ දක්ෂයා සමඟ සුහද කතා බහක යෙදෙන්න තීරණය කළේ ඔහු දක්වා ඇති දක්ෂතා ගැන විතරක් කතා කරන්න නෙමෙයි. ක්‍රීඩා පිටියේ වගේම ඉන් එහා ගිය රසබර තැන් ගැන ආවර්ජනය කරන්න ඔහු පටන් ගත්තේ අපි අහපු පළවෙනි ප්‍රශ්නෙත් එක්ක.  

කවිඳු, 1 වසරේ පාසල් ගිය දවස මතක ද, කාත් එක්ක ද ගියේ?

තාත්තා එක්ක තමයි මම මුලින්ම පාසල් ගියේ. බයිසිකලේ තමයි එයා මාව පාසල් අරන් ගියේ. මම හතර වසරේ දී තාත්තා නැති වුනා.  

පියාගේ ආභාෂයත් එක්ක වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වෙන කවිඳු ඔහුගේ පියා ගැන පැවසුවේ මෙවැන්නක්. 

“මගේ තාත්තා තරුණ සේවා සභා වොලිබෝල් කණ්ඩායමේ පළවෙනි නායකයා. එයාගේ නම ඒ. ලක්‍ෂ්මන් (ලකී). ගොඩක් අය මාව දන්නේ තාත්තාගේ නමින්, තාත්තාගේ ආභාෂයත් එක්ක තමයි මම මෙච්චර දුරක් වොලිබෝල් පිටියේ ආවේ. මගේ දස්කම් එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා ඇති”

ආසම සින්දුව මොකක්ද?

අලුත් සින්දුවලට මම ආසයි. 

පාසල් යද්දී ආසම විෂය මොකක්ද ?

සෞඛ්‍ය. සෞඛ්‍ය උගන්නවන මිස් අපේ තාත්තාගේ පන්තියේ, ඒ නිසා එයා මාව අදුරනවා. 

ක්‍රීඩා දිවියේ පළවෙනි ජයග්‍රහණය මතක ද? 

13න් පහළ සෙල්ලම් කරද්දී කනිෂ්ඨ අභියෝගතා ශූරතාවයේ ශූරයන් බවට පත් වුනා.

කවිඳු, වොලිබෝල් ක්‍රීඩකයන් ලස්සනයි කියන්නේ ඇත්ත ද?

අනිත් අය වගේ ක්‍රීඩා කරන අය කැපිලා පේනවා. වොලිබෝල් කරන අය ගොඩක් උසයි, ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.

දවසකට ජිම් එකේ කොච්චර වෙලාවක් ඉන්නවා ද?

මම වැඩිය ජිම් යන්න නම් කැමති නෑ, ඒත් මම මගේ ෆිට්නස් ගැන ගොඩක් හිතනවා. සාමාන්‍යයෙන් අත්වලට තමයි ගොඩක් කරන්නේ. මැච් නැති දවස්වලට වුනත්, මම ගෙදර ඉද්දීත්, තනියම මම හදා ගත්ත සෙට් එකක් තියනවා, ඒකෙන් සෙල්ලම් කරනවා.

ඔබ වොලිබෝල් ක්‍රීඩකයෙක්ව අනුකරණය කරනවා ද?

දීප්ති (දීප්ති රොමේෂ්) අයියට ආසයි, නමුත් මම එහෙම කාවවත් කොපි කරන්නේ නෑ.

ක්‍රීඩා දිවියෙන් බැහැරව අමතක නොවන සිදුවීම් මොනවා ද තියන්නේ. 

2016 අපි සංචාරයකට සහභාගී වුනා. අපි තේ බොන්න ලෑස්ති වුනා හොටෙල් එකේ ඉද්දී. ඊටපස්සේ අපේ කණ්ඩායමේ හිටපු පන්දු සකසන්නා හරි මම හදන්නම් කියල වැඩේ බාර ගත්තා. ඊටපස්සේ ටික වෙලාවකට පස්සේ ඇවිත් තේ පෙරන්න ගොට්ටක් හොයනවා, මම ඇහැව්වා ඇයි මොකටද ගොට්ටක් කියල. මිනිහ ටී බැග් කඩලා තේ එකට දාලා තේ පෙරන්න ගොට්ට හොයනවා හැමතැනම. 

දවසක් හොටෙල් එකක ඉද්දී එක පාරටම මල්ලි කෙනෙක් කෑගහන්න ගත්ත. අපිත් බය වෙලා ගිහින් බලද්දී. HOT Water Shower එක ඇරලා ඔලුව අල්ලලා. 

ජාතික සංචිතයට තේරුණා කියල කොහොම ද මුලින්ම දැන ගන්න ලැබුණේ?

මුල්ම තේරීම් තිබුණේ සිකුරාදා දවසක. 18ක් තෝරලා තිබුණේ. ඒකෙන් 12ක් තෝරනවා එදාට. මට ඊටපස්සේ ඉරිදා ඉන්දික සර් කෝල් කරලා කිව්වා ඔයා 12ට ඉන්නවා කියල.  

අම්ම මොනාද කිව්වේ ශ්‍රී ලංකා ජාතික සංචිතයට තේරුණා කියල පණිවිඩය ආව වෙලාවේ?

අම්මට මම එදාම කෝල් කරලා කිව්ව. අම්ම රට හිටියේ එතකොට. අම්මට තේරෙන්නේ නෑ ඉතින්. මම කිව්ව රට යන්න තේරුණා කියල. එයා ගොඩක් සතුටු වුනා.

ශ්‍රී ලංකාව නියෝජන කරමින් පලවෙනි තරගයට ක්‍රීඩා කරන්න පිටියට ගිය වෙලාවේ මොනාද හිතුණේ?

මගේ මුල්ම ටුවර් එක ඕස්ට්‍රේලියා. මම ඒකෙ පළවෙනි මැච් එක සෙල්ලම් කෙරුවේ නෑ. නමුත් මම රිසව් ඉන්න හොඳ නිසා මාව දැම්ම. මම මුලින්ම ඇතුළට ගියේ පළවෙනි සෙට් එකේ ලකුණු 19 දී. අපි AC ඒකේ සෙල්ලම් කරලත් නෑ. අනික මම තමයි හිටපු මිටිම එක්කෙනා. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ගොඩක් උසයි. එයාලා ගහන පාරවල් ගොඩක් සැරයි. නමුත් මට පහරවල් 3ක් ගහන්න හම්බුනා. මම ඒ ඔක්කොම සාර්ථක කරගත්තා. සෙල්ලම් කරපු ටික වෙලාවට තිබුන ඔක්කොම බය නැති වුනා.

 යාලුවෝ ආදරේට කියන නම මොකක්ද? 

පබා කියල තමයි කට්ටිය කියන්නේ 

වොලිබෝල් ක්‍රීඩාව තුල High Attacker කියන ස්ථානයේ ක්‍රීඩා කරන්න කැමති වෙන්නේ ඇයි?

මම කලින් සෙල්ලම් කරේ ලිබරෝ. නමුත් මම පොඩි කාලේ ඉදන් හයි පාස් ගහන්න කැමති. ඒ නිසා මම ඒකට හැඩ ගැහුණා.

කවිඳු ජාත්‍යන්තරයේ මුලින්ම ලබපු ජයග්‍රහණ මතක ද?

ඕස්ට්‍රේලියාවට තමයි මුලින්ම දින්නේ.

වොලිබෝල් වලට අමතරව කැමති ක්‍රීඩා මොනවා ද?

මලල ක්‍රීඩාවට තමයි ගොඩක් කැමති. මොකද මම කලින් මලල ක්‍රීඩාව කරලා තියනවා.

ජීවිතේ වැඩිපුරම ආදරේ කරන්නේ කාටද?

අම්මට තමයි ආදරේ. 

ශ්‍රී ලංකාවට සෑම වටයක දී ම ලකුණු දෙකක් හරස් වෙයි

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම අද (08) සහභාගී වූ, 2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල්…..

කවිදුගේ මව, කවිඳු සහ ඔහුගේ සහෝදරයාව හොඳින් රැක බලා ගැනීම සඳහා විදේශ ගතව සිටියත් ඇය ක්‍රීඩාවට වඩා කවිඳුව අධ්‍යාපනයට වැඩියෙන් නැඹුරු කිරීමට උත්සාහ බව කවිඳු අපිත් එක්ක කිව්වා. නමුත් කවිඳුගේ දැඩි කැපවීම මත ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා තම හැකියා ප්‍රදර්ශනය කරන්න සමත් වීම ඔහුටත්, ඔහුගේ පවුලටත්, රටටත් විශාල ආඩම්බරයක්.

ඔහුගේ ගමන මෙතැනින් නිමා වෙන්නේ නැහැ. තව ගොඩක් දුර කවිඳුට යන්න තියෙනවා. ඒ ගමනට ThePapare.com අපිත් එකසිතින් කවිඳුට සුබ පතනවා.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<