ධනංජය ඇතුළු 4ක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට

502
junior nationals

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රාහකත්වයෙන් පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවූ 54 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා වූ ග්‍රේෂන් ධනංජය (තුන් පිම්ම), චමල් කුමාරසිරි (තුන් පිම්ම), අකිල රවිශංක (මීටර් 110 කඩුලු) සහ උදිත චන්ද්‍රසේන (මීටර් 400 කඩුලු) යන ක්‍රීඩකයන් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට සමත්වූහ.

එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වූ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ග්‍රේෂන් ධනංජය ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා වයස අවුරුදු 20න් පහළ තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 15.78ක දුරක් සටහන් කළ අතර එය එම ඉසව්වේ නව තරග වාර්තාවක් ලෙසද සටහන් විය. තවද 20න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වෙන්ද නව ජාතික වාර්තාවක් බිහි කළ ධනංජය ඒ මීටර් 7.41ක දුරක් සටහන් කිරීමටද සමත්විය.

මේ අතර 20න් පහළ බාලක තුන්පිම්ම ඉසව්වේදී ග්‍රේෂන් ධනංජය සමඟ කරට කර තරගයක යෙදුණු මීරිගම ඩී.එස්. සේනානායක විදුහලේ චමල් කුමාරසිරි මීටර් 15.62ක දුරක් සටහන් කර එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර එම දක්ෂතාව ඔහුටද ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රමාණවත් විය.

තවද වයස අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් තත්.52.22ක කාලයක් සටහන් කළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ වරම් දිනා ගනිද්දී එම ඉසව්වේ නව තරග වාර්තාවක හිමිකාරිත්වයද හිමි විය.

20න් පහළ මීටර් 110 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්ව නියෝජනය කළ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංක එම ඉසව්ව තත්. 14.19ක කාලයකින් නිම කරමින් නව තරග වාර්තාවකට හිමිකම් කියූ අතර ඔහුද ලබන ජූලි මාසයේදී පෝලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනයක් බවට පත්විය.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න